Game of Thrones Season 7 එකේදි මොනවයින් මොනව වෙයිද? මේ ඒ ගැන අනිවා විමර්ශනයක්

 

ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් 6 අවසානෙදි වෙස්ටරෝස් සහ එස්සෝස් වල තත්ත්වය ඔයාලට මතකද? ජොන් ස්නෝ උතුරේ රජු හැටියට පත්වෙනව, ඩනේරිස් තමන්ගේ දැවැන්ත යුධ බලයකින් යුක්ත සේනාවත් අරගෙන වෙස්ටරෝස් බලා ගමන් අරඹනව, සර්සි ලැනිස්ටර් අයන් ත්‍රෝන් එකේ සිංහාසනාරූඪ වෙනව, කවුරුත් බයෙන් හිටපු දීර්ඝ ශීත කාලයත් ඇරඹෙනව, ඒ අතරින් වයිට් වෝකර්ස්ලාත් කවදාටත් වඩා ප්‍රචණ්ඩකාරීව වෙස්ටරෝස් ආක්‍රමණය කරන්නයි ලෑස්තිය…

ගේම් ඔෆ් ත්‍රෝන්ස් 7 වැනි සීසන් එක ඇරඹෙන්නෙ මෙන්න මේ වගේ තීරණාත්මක බලවේග රැසක් එකට ගැටෙන්නට ඉතාම ආසන්න මොහොතක ඉඳලයි…

ගේම් ඔෆ් ත්‍රෝන්ස් 7 වැනි සීසන් එක කියන්නෙ මෙතෙක් දිගහැරුණු සීසන් අතරින් ඉතාම වැදගත් සීසන් එකක් කියල අපි හඳුන්වන්න කැමතියි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කථා මාලාව මේ සීසන් එකෙන් පස්සෙ තව එක සීසන් එකකින් ඉවරයි. ඒ විතරක් නෙමෙයි මේ 7 වැනි සීසන් එකේ තියෙන්නෙ කොටස් 7ක් විතරයි. ඒ කියන්නෙ ගොඩක් දේවල් අපි හිතනවටත් වඩා ඉක්මනට සිද්ධ වෙන්න ඉඩ තියනවා කියන එකයි. අනිත් එක තමයි මේ වෙද්දි ගේම් ඔෆ් ත්‍රෝන්ස් කථාව පාදක වෙච්ච “අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්” නවකථාවෙනුත් සෑහෙන පිට පැනල තමයි ටීවී සීරීස් එක දිගහැරෙන්නෙ. අන්න ඒ නිසා නවකථාවේ රසිකයොත් ඉස්සරහට වෙන්නෙ මොනවද කියල නොඉවසිල්ලෙන් තමයි බලාගෙන ඉන්නෙ.

ඉතින් හැමෝම නොඉවසිල්ලෙන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් 7 දිගහැරෙනකම් බලන් ඉන්න මේ මොහොතේ අපි කියන්න යන්නේ මේ 7 වැනි කථාමාලාවෙදි සිද්ධ වෙන්න පුලුවන් විශේෂ දේවල් කිහිපයක් ගැනයි. මේ කියන දේවල් වරදින්න වගේම හරියන්නත් පුලුවන්. ඒ නිසා කතාව SPOIL වෙලා රසවින්දනයට බාධා වෙයි කියල හිතෙන අය ටිකක් පරිස්සම් උනොත් හොඳයි. ඒ වගේම අපි කැමතියි ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් 7 ගැන ඔයාලගෙ අදහසුත් අපිත් එක්ක බෙදාහදා ගන්නවනම්.

මේ ලිපිය කියවන්න කලින් මේ වෙද්දි රිලීස් වෙලා තියන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටේලර්ස් දෙකත් බලලම ඉන්න කියල අපි මුලින්ම ආරාධනා කරනව.

 

Trailer 1

 

Trailer 2

 

1. යූරොන් ග්‍රේජෝයිගේ භූමිකාව
Game of Thrones Season 7 Preview Sinhala
Source – independent.co.uk

යූරොන් ග්‍රේජෝයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් කථාවට කඩාගෙන වදින්නේ එකපාරටම. ටිකක් පරක්කු වෙලා මේකට සෙට් උනත් යූරොන් ගැන පෙන්නපු හැටියට නම් එයා ලේසි පාසු පුතයෙක් වෙන්න බෑ. ග්‍රේජෝයිලගෙ නාවික යාත්‍රා අරගෙන යාරයි තියොනුයි ඩනේරිස් එක්ක එකතු උනාට මොකද යූරොනුත් ඉතාම ඉක්මනට තමන්ගෙ නාවික බලඇණිය හදාගෙන මුහුදේ කුණාටු සුළි නංවන්න ඉඩ තියනවා. හැබැයි එක කොස්සක්! ඒ තමයි දැනටමත් යාරා සහ තියොන් ඩනේරිස් එක්ක සෙට් වෙලා ඉන්න නිසා යූරොන්ට මකර රැජිණ එක්ක සාංගමයක් ගහන්න තියන චාන්ස් අඩුයි. ඒ නිසා බොහෝ වෙලාවට යූරොන්ගෙ අත කිංග්ස් ලෑන්ඩින්ග් එකේ ඉන්න සර්සි දිහාවට දිගු වෙන්න ඉඩ තියනවා. මේ වෙද්දි රිලීස් වෙලා තියන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ට්‍රේලර්ස් වලිනුත් ඒ ගැන යම් යම් ඉඟි ලැබිල තියනව විතරක් නෙමෙයි, ග්‍රේජෝයි යාත්‍රා අතර සමුදුරේ සිද්ධ වෙන සටන් බොහොමයකුත් ඒවයෙන් අපිට පෙන්නනවා. යූරොන් කෙළින්ම තමන්ගේ නාවික ශක්තිය අරගෙන ගිහිල්ලා අතරමගදී ඩනේරිස් ඇතුළු ග්‍රේජෝයි නැවු එක්ක හැප්පෙයිද? එහෙමත් නැතිනම් සර්සි එක්ක එකතුවෙලා මුහුදේ ආරක්ෂාව තර කරයිද? (මේ පාර වයිල්ඩ්ෆයරුත් නැතිව ඇතිනෙ) කියල අපිට තාම හිතාගන්න අමාරුයි. හැබැයි මේ මොන දේ කලත් මේ වෙද්දි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ඉන්න අංක එකේ මුහුදු සටන්කාරය වෙන යූරෝන් තමන්ගෙ හතුරන්ට ලොකු විනාශයක් කරන්න ඉඩ තියනව.

 

2. සර්සි යහතින් රජකම් කරයිද?
Game of Thrones Season 7 Preview Sinhala
Source – youtube.com/Game of Thrones Season 7: Official Trailer

විශිෂ්ට ටාගේරියන් රණශූරයෙක් වෙච්ච ඒගන්අයන් ත්‍රෝන්” එක හදන්නෙ ඒකෙ ලේසියෙන් ඉඳගන්න පුලුවන් වෙන්න නෙමෙයි. මුවහත් අසිපත් එකතු කරල, මකර ගින්නෙන් පෑස්සීමෙන් හදපු මේ සිංහාසනේ ඉඳගන්න රජෙක්ට තුවාල සිද්ධ වෙන්න තියන ඉඩ වැඩියි. එහෙම තුවාල වෙච්ච කෙනෙක් රාජ්‍යය කරන්න සුදුසු නැහැ කියල තමයි පිළිගැනීම තියෙන්නෙත්. ඒ කොහොම වෙතත් මේ වෙද්දි තාම තුවාල කර නොගත්තත් සර්සි රැජින ඉන්නෙ මුවහත් කඩුතල වලින් වටකරගත්තා හා සමාන අනතුරුදායක ස්ථානයක තමයි. මොකද මේ වෙද්දි බොහෝ දෙනෙක්ගේ ඉලක්කය වෙලා තියෙන්නෙ එයාවයි. හැබැයි අපිට ට්‍රේලර්ස් වලින් පෙන්නන විදිහට සර්සි රැජින මේ තර්ජන වලින් සැලිල ඉන්න පාටක් නම් පේන්න නැහැ. බොහෝ විට යූරොන්ගේ සහයත් ඇයට ලැබෙන්න ඉඩ තියනවා. ඒ වගේම කවදත් භයානක ප්ලෑන්ස් ගැහීමේ මාස්ටර්මයින්ඩ් එකක් වෙච්ච “කයිබර්න්” මේ පාරත් මොකක් හරි දරුණු ගේමක් ප්ලෑන් කරන්න ඉඩ තියනවා.

සර්සි ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි තවත් කාරණයක් තියනවා. ඒ තමයි ඇය බාල සහෝදරයෙක් (Valonqar) අතින් මිය යන බවට කියල තියන අනාවැකිය. මේකෙදි කාගෙත් අවධානය යොමු වෙලා තියෙන්නෙ කුඩා ටිරියන්ට උනත් අපිට මෙතැනදී අයින් කරන්න බැරි තවත් එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි ජේමි. ජේමියි සර්සියි නිවුන්නු උනාට සර්සි තමයි මේ දෙන්නාගෙන් මුලින්ම මෙලොව එළිය දකින්නෙ. ඒ නිසා මේ බාල සහෝදරයා එහෙමත් නැත්නම් Valonqar අනාවැකියෙන් ජේමිවත් අපිට අයින් කරන්න බැහැ. තමන්ගේ දරුවන් තුන් දෙනාගේ අකල් මරණ වලට සර්සිත් යම් ආකාරයකින් දායක වෙච්ච නිසා ජේමි උනත් එච්චර හිත හොඳකින් ඉන්න බවක් අපිට පෙනෙන්න නැහැ.

 

 

3. කපටි ලිට්ල් ෆින්ගර් සන්සාව සහ ජොන්ව භේද කරවයිද?
Game of Thrones Season 7 Preview Sinhala
Source – youtube.com/Jon Snow is named king in the North Game of Thrones

සන්සා සහ ජොන් ස්නෝ 6 වැනි සීසන් එකේ අවසානෙදි හැඟීම්බර විදිහට නැවත එක්වෙනව. වින්ටර්ෆෙල් වල අයිතිය නැවත ලබාගන්න මේ අය සමත් වීමත් එක්ක ජොන් ස්නෝව උතුරේ රජු හැටියට පිළිගැනෙනව. හැබැයි මේ හැඟීම්බර, ප්‍රීතිජනක යළි හමුවීම උඩට අන්ධකාර වළාවකුත් පතිත වෙනව. ඒ තමයි කෙටවීමේ අති දක්ශ යක්ෂයෙක් වෙච්ච ලිට්ල් ෆින්ගර් ලෝඩ් බේලිෂ්. බේලිෂ් මේ සීසන් එක ඇතුලෙදි ගොඩක් වෙලාවට සන්සාගෙ කණට විෂකුරු අදහස් කොඳුරන්න ඉඩ තියනවා. ඒ ගැන ට්‍රේලර් වලිනුත් අපිට ඉඟි ලැබෙනව. ඔයාලට සමහර වෙලාවට මතක ඇති ජොන් ස්නෝ කින්ග් ඔෆ් නෝර්ත් වෙච්ච වෙලාවෙදි සන්සා සහ ලිට්ල් ෆින්ගර්ගෙ මුහුණු වලින් පෙන්නුම් කෙරිච්ච හැඟීම්. ජොන් ස්නෝ කියන්නෙ නෙඩ් ස්ටාර්ක්ගෙ අවජාතක පුතෙක් නොවෙන වග සන්සාවත් ජොන්වත් තාම දන්නෙ නැහැ. හැබැයි ලිට්ල් ෆින්ගර් ජොන් ස්නෝගෙ උප්පත්තිය ගැන රහස දන්නව. ඒ රහසිගත කරුණුත් එක්ක ජොන් ස්නෝ තමන්ගෙ උරුමය ගැන මුල්වරට දැන ගන්නටත්, සන්සා සහ ජොන් අතර භේද භින්න ඇති වෙන්නටත් මේ සීසන් එකේදි බොහෝ දුරට ඉඩ තියනවා. මේකට හොඳම ඉඟියක් දෙනවා ගේම් ඔෆ් ත්‍රෝන්ස් මුල් ට්‍රේලර් එකේදි. එකෙදි අපිට දැකගන්න පුලුවන් හොඳටම තරහ ඇවිස්සිලා ඉන්න ජොන් ස්නෝ ලිට්ල් ෆින්ගර්ගේ බෙල්ල මිරිකන සීන් එකක්. මේක සිද්ධ වෙන්නෙත් ලියානා ස්ටාර්ක්ගේ පිළිරුව තියන වින්ටර්ෆෙල් ක්‍රිප්ට් එකේදි වීම විශේෂයි.

 

4. ඩනේරිස් මුල් වරට වෙස්ටරෝස් වල
Game of Thrones Season 7 Preview Sinhala
Source – youtube.com/Game of Thrones Season 7: Official Trailer

කුඩා කාලෙ ඉඳන්ම රහසිගත ජීවිතයක් ගත කරල, එස්සෝස් මහද්වීපෙ ඉඳන් සේනා සංවිධානය කරගත්ත ඩනේරිස් බැලූ බැල්මට මේ වෙද්දි ගේමෙ ඉන්න භයානකම ප්ලේයර් හැටියට තමයි පේන්නෙ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ට්‍රේලර්ස් වලින් ඩනේරිස්ව “ඩ්‍රැගන්ස්ටෝන්” එකේදි පෙන්නුම් කරන සීන් තියනවා. ඩ්‍රැගන්ස්ටෝන් එක තමයි ටාගේරියන්ලගෙ ඔරිජිනල් බලකොටුව. පස්සෙ තමයි ඒක ස්ටැනිස් අතට යන්නෙ. ට්‍රේලර් එකේදි අපිට දකින්න පුලුවන් ඩ්‍රැගන්ස්ටෝන් වලදි සර් ඩෙවොස් ඩනේරිස්ව අමතන සීන් එකක්. බොහෝ විට ඩෙවොස් එක්ක ජොන් ස්නෝත් මෙහිදී ඩනේරිස්ව හමුවෙන්න ඉඩ තියනවා. මෙතැනදී අයන් ත්‍රෝන් එක වෙනුවෙන් සටන් වැදීම පස්සට දාල උතුරින් එන වයිට් වෝකර් භීෂණය යටපත් කරන්න එකතු වෙන්නය කියල මේ අයගෙන ඩනේරිස්ට ආරාධනා ලැබෙන්නත් ඉඩ තියෙනව. ඒ ආරාධනා ඩනේරිස් පිළිගනීද නැද්ද කියන එක අපි හරියටම දන්නෙ නැති උනත් වෙස්ටරෝස් බලවතුන් එක්ක ඩනේරිස්ගෙ හැප්පීම නම් අනිවා සිද්ධ වෙන බව අපිට කියන්න පුලුවන්. ඩොත්රාකි ආමි එක සහ අන්සලීඩ්ල එක්ක ලැනිස්ටර් හමුදාව හැප්පෙන හැප්පිලි කීපයක්ම අපිට ට්‍රේලර්ස් වලින් පෙන්නන නිසයි ඒ. ඒගන් අධිරාජ්‍යයගේ මකරු කලා හා සමාන විනාශයක් ඩනේරිස්ගෙ මකරුත් ලැනිස්ටර්ලට කරන්න තියෙන වගක් පේනව.

 

5. ඩනේරිස්ගේ මිතුරු පාර්ශව අතර දෙදරිලි ඇතිවෙයිද?
Game of Thrones Season 7 Preview Sinhala
Source – cinemablend.com

6 වැනි සීසන් එකේදි දේවල් හැඩ ගැහිච්ච විදිහට ටයිරෙල්ලා සහ සෑන්ඩ් ස්නේක්ස්ලාත් ඩනේරිස් එක්ක එකතු වෙන්න තියෙන ඉඩ වැඩියි. හැබැයි මෙතන පොඩි අවුලක් එනවා. ඒ තමයි මර්සෙලාගේ මරණය සම්බන්ධ අවුල. ඩෝර්න් වල ට්‍රිස්ටේන් කුමාරයත් එක්ක විවාහ ගිවිසුමක් ඇති කරගෙන මර්සෙලාව එහෙට පිටත් කරන්නෙ ඒ වෙද්දි කින්ග්ස් හෑන්ඩ් වෙච්ච ටිරියනුයි. නමුත් පහුගිය සීසන් එකේදි ඩෝර්න් වල සිද්ධ වෙච්ච බල පෙරළිය අතරතුරදී මේ වෙද්දි ඩෝර්න් වල බලය අතට අරන් ඉන්න සෑන්ඩ් ස්නේක්ස් කියන විසකුරු කාන්තාවො සෙට් එකේ ප්ලෑනකින් මර්සෙලාව මරා දානව. මේ කාරණය ටිරියන්ට ආරංචි වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. ඒක ඩනේරිස් සහ සෑන්ඩ් ස්නේක්ලාගෙ එකතුවෙන් පස්සෙ වෙයිද? ඊට කලින් සිද්ධ වෙයිද කියන්න අපි දන්නේ නැහැ. නමුත් කොයි මොහොතේ සිද්ධ උනත් මේ සිදුවීම එළිදරවු වීමත් එක්ක මේ සමාගමය අතරේ ලොකු පිපිරීම් ඇතිවෙන්න ඉඩ තියනවා කියන එක අනිවා ෆැක්ට් එකක්.

 

6. ටිරියන් ටාගේරියන් කෙනෙක්ද?
Game of Thrones Season 7 Preview Sinhala
Source – youtube.com/Game of Thrones Season 7: WinterIsHere Trailer 2

ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි ජනප්‍රියම චරිතයක් වෙන ටිරියන් ගැන බොහොම ආන්දෝලනාත්මක ෆෑන් තියරීස් තියනවා. ඒ අතරින් ජනප්‍රියම එකක් තමයි ටිරියන් කියන්නෙ ලැනිස්ටර් කෙනෙක් නෙමෙයි, ටාගේරියන් කෙනෙක්ය කියන එක. මේ තියරිය ඇත්තක් වෙන්න පුලුවන්ය කියන එකට එක් වැදගත් සාධකයක් අපිට 6 වැනි සීසන් එකේදි දකින්න ලැබෙනවා. ඒ තමයි ටිරියන් සහ මකරුන්ගේ හමුවීම. මෙතැනදී මකරුන් ටිරියන්ට හානියක් කරන්න උත්සාහ ගන්නේ නැත්තෙ එයාගෙ ඇඟේ තියන ටාගේරියන් ලේ නිසා වෙන්න පුලුවන්. ටයිවින් ලැනිස්ටර් ටිරියන්ට වෛර කරන්නෙත් ටිරියන් ඔහුට ජාතක නොවුණ දරුවෙක් නිසා වෙන්නත් පුලුවන්. ටයිවින් ලැනිස්ටර් හෑන්ඩ් හැටියට ක්‍රියාකල පිස්සු රජු ඒරීස් ටාගේරියන් සහ ටයිවින්ගේ බිරිඳ අතර පොඩි පළහිලවුවක් ගැන ගේම් ඔෆ් ත්‍රෝන්ස් නවකථාවේත් පොඩි පොඩි ඉඟි තියනවා. මේ තියරියට උල්පන්දම් දෙන තවත් තියරියක් තමයි ඔලු තුනේ මකරු තියරිය (Three Headed Dragon). ඔලු තුනේ මකරා සම්බන්ධ කතාව ටාගේරියන්ලා අතර හරිම ජනප්‍රිය කතාවක්. ඒ විතරක් නෙමෙයි ඒ අයගෙ සංඛේතයේ ඉන්නෙත් ඔලු තුනක් සහිත මකරෙක්. “ඒගන් ටාගේරියන්” වෙස්ටරෝස් අල්ලගන්න යන්නෙ තමන්ගෙ සහෝදරියො දෙන්නත් එක්ක මකරු තුන් දෙනෙක් පිට නැගිලයි. ඩනේරිස්ටත් ඉන්නවනෙ මකරු තුන් දෙනෙක්. ඉතින්  මේ වෙද්දි ජොන් ස්නෝ දෙවෙනි ටාගේරියන් හැටියට එළිදරුවු වීමත් එක්ක ටිරියන් කියන්නෙ තුන්වෙනි ටාගේරියන් වෙන්නත් බොහෝ දුරට ඉඩ තියනවා. ඒ වගේම මේ රහස ගැන ඉඟි බොහොමයකුත් මේ සීසන් එකේදි ලැබෙන්න ඉඩ තියනවා.

 

7. ජොන් ස්නෝ අනතුරක?
Game of Thrones Season 7 Preview Sinhala
youtube.com/GAME OF THRONES Season 7 EXTENDED TRAILER

ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් 7 ට්‍රේලර්ස් වලින් ජොන් ස්නෝගෙ ජවනිකා තරමක් වැඩිපුර පෙන්නනව. ජොන් ස්නෝ අයෙමත් වෝල් එකෙන් එපිට වයිට් වෝකර්ස්ලා එක්ක සටන් කරන ත්‍රාසජනක සීන් එහෙමත් සෑහෙන තියනවා. මෙතැනදි ජොන් ස්නෝ ඉන්නෙ අවාසිදායක තැනක කියන එක තමයි පේන්න තියෙන්නෙ. බෙරික් ඩොන්ඩේරියන් සහ ඒ අයට අලුතින්ම එකතු වෙච්ච හවුන්ඩ් හෙවත් සැන්ඩෝර් ක්ලිගේනුත් ජොන්ලාට එකතු වෙලා වයිට් වෝකර්ස්ල එක්ක සටන් කරන බවක් අපිට අනුමාන කරන්න පුලුවන්. හැබැයි මේ පාර ට්‍රේලර්ස් වල සන්සා කියන එක කතාවක් ජොන් ස්නෝගෙ ජීවිතේ ගැන අපිට බලවත් අනතුරක් අඟවනව. ඒ තමයි “When the Snows Fall and the White Winds Blow, the Lone Wolf Dies but the Pack Survives.” කියන කථාව. මේකෙන් කියවෙන්නෙ තවත් ස්ටාර්ක් කෙනෙක්ගේ මරණයක් වෙන්නටත්, ඒ මරණය ජොන් ස්නෝගේ වෙන්නටත් බොහොම ඉඩ තියනවා. හැබැයි අමතක කරන්න එපා, ජොන් ස්නෝලත් එක්ක එකතු වෙන්න ඉඩ තියන බෙරික් ඩොන්ඩේරියන් කියන්නේ මැරිච්ච අයට පණ දෙන්න හැකියාවක් තියන කෙනෙක්ය කියන එකත්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නවකථාවෙදි නම් මේ වෙද්දි බෙරික් ඔයාල හිතන්නෙවත් නැති කෙනෙක්ට නැවත පණ දීලයි තියෙන්නෙ. හැබැයි ඒක ටීවී සීරීස් එකේදි නම් සිද්ධ වෙන්න ඉඩක් නැති පාටක් තියෙන්නෙ.

 

8. නයිට් කින්ග් සහ වයිට් වෝකර් හමුදාව වෝල් එක හරහා එයිද?
Game of Thrones Season 7 Preview Sinhala
Source – youtube.com/Game of Thrones Season 7: WinterIsHere Trailer 2

වෙස්ටරෝස් වලට මුලින්ම ගොඩ බැහැපු මනුෂ්‍යයො වෙච්ච ෆස්ට් මෙන්ලා සහ චිල්ඩ්රන්ලා අතර අවුරුදු ගණනක යුද්ධයක් ඇති වෙනවා. අවසානෙදි මේ දෙගොල්ලො වනාන්තර සහ එළිමහන් බිම් බෙදාගෙන සාමදාන උනත් චිල්ඩ්රන්ලා වෙනමම නපුරු හොර ගේමක් ගහනවා මිනිස්සුන්ව මරන්න. අන්න ඒකෙ අතුරු ප්‍රතිඵලයක් හැටියට තමයි වෝකර්ස්ලා බිහි වෙන්නෙ. මීට අවුරුදු සිය දහස් ගණනකට කලින් අන්තිමට ආපු දීර්ඝ ශීත සෘතුව පරම්පරාවක විතර කාලයක් පවතින අන්ධකාර එකක් වුණාය කියල ඔයාල දැනටමත් අහල ඇතිනෙ. අන්න ඒ අන්ධකාරය අතරින් තමයි වෝකර්ස්ලා මුල් වරට වෙස්ටරෝස් ආක්‍රමණය කරන්නෙ. කොහොම උනත් ඒ පාර චිල්ඩ්රන්ලා එක්ක එකතු වෙලා වයිට් වෝකර්ස්ලාව උතුරු කෙළවරට පන්නලා වෝල් එක ගොඩ නගන්න ෆස්ට් මෙන්ලා සමත් වෙනවා. වෝකර්ස්ලාට ඇතුලු වෙන්න බැරි වෙන්න මැජික් එකකුත් යොදලා තමයි මේ වෝල් එක හදල තියෙන්නෙ. හැබැයි පොඩි අවුලක්!

ඔයාලට මතක ඇති සීසන් 6දි නයිට් කින්ග් එක තැනකදී බ්‍රෑන් ස්ටාර්ක්ව අල්ලනව. එහෙම කිරීමෙන් බ්‍රෑන් යන යන තැනට යන්න නයිට් කින්ග් ඇතුලු හමුදාවට හැකියාව ලැබෙනවා කියල මතයක් තියනවා. මේ ගැන තියන සුප්‍රකට ෆෑන් තියරියක් තමයි බ්‍රෑන්ගේ අතේ තියපු සලකුණත් නිසා, බ්‍රෑන් වෝල් එකෙන් ඇතුලට ආවොත් වෝකර්ස්ලාටත් වෝල් එකේ බලය බිඳගෙන වෙස්ටරෝස් වලට සංක්‍රමණය වෙන්න හැකියාව ලැබේවිය කියන එක. මේ තියරිය සැබෑවක් වේදෝයි කියල අපිට හිතෙන්නෙ බ්‍රෑන් වින්ටර්ෆෙල් වල ගෝඩ්ස්වුඩ් වලදි පෙන්නන රූප රාමුවක් සීසන් 7 ට්‍රේලරෙන් හමුවීමත් එක්කයි.

 

9. කවුරුත් බලන් ඉන්න Cleganebowl එක මේ සීසන් එකේද?
Game of Thrones Season 7 Preview Sinhala
Source – businessinsider.com

අපි අතරේ එච්චර ප්‍රසිද්ධ නැති උනත් විදෙස් ෆෑන්ස්ල අතරේ ඉතාම ජනප්‍රිය තියරියක් තමයි මේ ක්ලිගේන්බෝල් එක සිද්ධ වේවිය කියන එක. මේ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ ක්ලිගේන් සහෝදරයො වන සැන්ඩෝර් සහ ග්‍රෙගර් ක්ලිගේනුයි. ට්‍රයල් බයි කොම්බැට් එකකින් සර්සි ලැනිස්ටර්ගේ ඉරණම විසඳන්න මේ දෙන්නා අතර මහා සටනක් යාවිය කියන එක තමයි ෆෑන් තියරිය වෙනනෙ. මේ සහෝදරයො දෙන්නා අතර ඇයි හොඳයියෙ තරම ගැන ෆෑන්ස්ලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. අපි කවුරුත් මළාය කියල මුලින් හිතපු මේ දෙන්නම මේ වෙද්දි නැවත ජීවතුන් අතරය කියල අපිට දැනගන්න ලැබිල ඉවරයි. සර්සිව නියෝජනය කරන ග්‍රෙගර් ක්ලිගේන් (දැන් රොබර්ස් ස්ට්‍රෝංග්) එක්ක ෆයිට් කරල සැන්ඩෝර් ක්ලිගේන් ජය ගැනීමත් එක්ක සර්සිට මරණ දඬුවම හිමිවේවිය කියල තමයි මේ තියරිය ඉදිරිපත් කරන ෆෑන්ස්ල කියන්නෙ. සැන්ඩෝර් කියන්නෙ සර් ග්‍රෙගර්ගෙ බාල සහෝදරය නිසා අර අපි මුලින් සඳහන් කරපු බාල සහෝදරයෙක් නිසා සර්සිට ජීවිතේ අහිමි වෙනවයි කියන Valonqar අනාවැකියටත් මේ සිද්ධිය නිසා ඇත්ත වෙන්න පුලුවන්කමක් ලැබෙනව.

 

10. ආර්යා
Game of Thrones Season 7 Preview Sinhala
Source – youtube.com/Game of Thrones Season 7: Official Trailer

ආර්යාව අපිට අලුත් සීසන් ට්‍රේලර් වලින් හමුවෙන්නෙ අධික ශීතල උතුරේ ඉඳලයි. සැන්ඩෝර් ක්ලිගේන්, බෙරික් ඩොන්ඩේරියන් ඇතුළු පිරිසත්, ජොන් ස්නෝත් උතුරෙදි සටන් කරනවා පෙන්නන නිසා මේ අයගෙන් කෙනෙක් එක්ක ආර්යාගේ හමුවීම සිද්ධ වෙන්න පුලුවන්. ට්‍රේලර් වල පෙන්නන හැටියට ආර්යා ඉන්නෙ යම්කිසි අනතුරක සේයාවකට ලක්වෙලාද කියලා සැකයකුත් අපිට ඇතිවෙනවා. ඒ වගේම තවත් පැතිරෙන කසු කුසුවක් තමයි ආර්යා සහ එයාගෙ පරණ වෘක යාලුවා නයිමේරියා අතර හමුවීමක් මේ සීසන් එකේදි සිද්ධ වෙන්න පුලුවන්ය කියන එක. මේ හමුවීමට නයිමේරියා එන්නෙ තවත් විශාල වෘක රංචුවක් එකතු කරගෙනය කියලත් සමහර අය මත පල කරනවා. අපි ප්‍රාර්ථනා කරමු ඒ හමුවීමත් ඉක්මනින්නම සිද්ධ වෙන්නය කියල නේද?

 

අපි මේ ගෙන ආවෙ අපි හිතපු, හොයපු සහ අහපු එක එක කතන්දර ඇසුරින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් 7 වැනි සීසන් එකේදි සිද්ධ වේවිය කියල අපිට හිතුන දේවල් කීපයක් තමයි. ඔයාලටත් සීසන් 7 සම්බන්ධයෙන් කියන්න අදහස් තියනවනම් ඒවා අපිත් එක්ක බෙදාගන්න කියල අපි ඉල්ලනවා. කට්ටියම සෙට් වෙලා හදමුද තවත් සිරා ශ්‍රී ලංකන් GOT ෆෑන් තියරි සෙට් එකක්?

 

 
Cover Image Source – youtube.com/Game of Thrones Season 7: WinterIsHere Trailer 2