ඒ ඒ ෆීල්ඩ්වලට අරක්ගත්තු ලෝකෙ හොඳම වොයිස් ටිකක් ගැන තමයි මේ කතාව

 

අපි අද කතා කරන්නෙ වොයිස් ගැන. නෑ නෑ ඒ රියැලිටි තරඟෙ නෙමෙයි මේ. මේ කියන්න යන්නෙ ලෝකෙට බිහිවෙච්ච සුපිරි වොයිස් ටිකක් ගැන විස්තරයක්. ඒ විස්තරේ ඇතුළෙ එක එක කැටගරියෙ කට්ටිය ඉන්නව වගේම ඒ කට්ටිය ජනප්‍රිය මට්ටමට ආපු අය වීමත් විශේෂයි. කොහොමින් කොහොම හරි මේ කට්ටිය ගැන අපි මහ විස්තර නොකියන්නෙ ඒවට යූටියුබ් එකේ සින්දු හොඳටම සාක්ෂි දරණ නිසායි. අපි දෙන්නං ලීඩ්ස්. ඔයාලා කැමති කැටගරියෙන් ගිහිල්ල අහල බලන්න. වොයිස් එක මහ ලොකුවට වැදගත් නොවන සමහර සින්දු කැටගරි මේ ලිස්ට් එකේ නැතුව ඇති. ඒවට ඒ ඒ ලෝලියො තරහා නොගනිත්වා.

 

1. රැජිණගේ අඬහැරය
World's Best Singers
Source – sciencefocus.com

මේ හෙඩිමෙන්ම සමහරුන්ටනං තේරෙනවා, මේ කියන්න යන්නෙ රොක් සංගීතයේ වොයිස් අතරේ ඉහලින්ම ඉන්න ඩයල් එක ගැන විත්තිය. ඒ ෆ්‍රෙඩී මර්කරි. ක්වීන් බෑන්ඩ් එකත් එක්ක මෙයා කියපු සින්දුවල වොයිස් එක නිසාම ගොඩගිය මහගොඩක් සින්දු තියෙනවා. සින්දු වගේම තමයි ඒ ඇක්ෂන්.
 

 

2. කලින්ම ගිය නිර්වාණය
World's Best Singers
Source – tixr.com

කර්ට් කොබේන් සිය දිවි හානි කරගත්තෙ නැත්තං මේ වෙනකොට මහ කන්දක් සින්දු අහන්න පුළුවන්කම තිබුනා කියල අවුරුදු විසිහතෙන් මැරෙනකොට ඉතුරු කරපු නිර්මාණ සාක්ෂි දරණවා. විකල්ප ධාරාවේ බෙරිහන් නොදෙන රොක් පැත්තට එයාව දාන්න පුළුවන්. ග්‍රන්ජ් පැත්තත් ඔහුට හොඳින්ම විවෘතයි. නිර්වානා සංගීත කණ්ඩායමම නිර්වාණයක් වෙන්නෙ ඒ හඬ නිසායි.
 

 

3. අනවරථ ඝෝෂාවේ නින්නාදය
World's Best Singers
Source – teamrock.com

ලේන් ස්ටේලි ජීවිතය හැරයන්නෙ අවුරුදු 34න්. මෙන්න පිරිසිදු ග්‍රන්ජ් සද්දයක් විදියට බයක් හැකක් නැතුව හඳුන්වලා දෙන්න පුළුවන් මිනිහෙක්. නියමම සංයමයක් සහ පාලනයක් තියෙන හඬක් ග්‍රන්ජ් රොක් ඇතුළෙදි ගොඩනැගෙනව කියන්න සාක්ෂි දෙන්න පුළුවන් මිනිස්සු තුන්දෙනාම මැරිලා. ඒ උඩ එක්කෙනා, මෙයා සහ ඊළඟට ඉන්න එක්කෙනා.
 

 

4. අන්තිමටම දෙවුලොව වේදිකාවට නැගි හඬ
World's Best Singers
Source – rollingstone.com

අන්තිමටම ගිහින් හෙවන් ස්ටේජ් එකට නගින්නෙ මාසෙකට විතර කලින් අවුරුදු පනස් දෙකේදි මිය ගිය ක්‍රිස් කොනෙල්. ක්‍රිස්ගෙ ඕඩියෝස්ලේව් වැඩ වගේම මැරෙන්න කලින් සින්දු කියල ගිය සවුන්ඩ්ගාඩ්න් වැඩත් එමටයි. ඊටහපං ක්‍රිස්ගෙ කවර් වර්ෂන්ස් අහද්දි. ජැක්සන්ගෙ බිලීජීන්, ඊගල්ස්ලගෙ හොටෙල් කැලිෆෝනියා, මාලේගෙ රිඩෙම්ෂන් සෝංග් එහෙම කියනව ඇ‍ඬෙන්න.
 

 

5. රොක්නං කොයිකත් එකයි
World's Best Singers
Source – siteofadown.com

විකල්ප ධාරාවෙ රොක් සින්දු කියන සංගීත කණ්ඩායමක් වුනු ‘සිස්ටම් ඔෆ් අ ඩවුන්’ලගෙ ෆ්‍රන්ට්මන් සර්ජ් ටැන්කියන් තනියමත් සින්දු කියන ඩයල් එකක්. අපි එයාගෙ ශෛලීන් ටික මෙතන දාන්නෙ, ඒකෙන් පොරව තේරුං ගන්න පුළුවන් නිසායි. Alternative Metal, Nu Metal, Hard Rock, Alternative Rock, Heavy Metal, Progressive Rock, Art Rock, Jazz Fusion, Classical Music, World Music. ඒ වගේම පොරට සින්දු ලියන්නයි කියන්නයි ගිටාර් ගහන්නයිත් පුළුවන්.
 

 

6. තවත් අඩු වයසෙන් ගොඩ ගිය එකෙක්
World's Best Singers
Source – edition.cnn.com

අවුරුදු විසි හතේ ක්ලබ් එකේ ඉන්න තවත් දක්ෂයෙක් තමයි මේ. කර්ට් කොබේන් එක්ක කරට කර ඉන්න ජිමී හෙන්ඩ්‍රික්ස් කියන්නෙ බ්ලූස් ගයන්න කියාපු කටක් තිබ්බ මනුස්සයෙක්. මැරෙන්න කලින් අන්තිම ෂෝ එකේ කියපු සින්දුවක් තමයි ජිමී හෙන්ඩ්‍රික්ස් කියපු හොඳම සින්දුව කියලා කට්ටිය කියන්නෙ. හැබැයි ඒක කොහෙවත් රෙකෝඩ් වෙලා නැහැ.
 

 

7. රජ්ජුරුවො‍
World's Best Singers
Source – rollingstone.com

සංගීත ලෝකෙ රොක් ඇන්ඩ් රෝල්වලට රජෙක් හිටියා. අවුරුදු හතලිස් දෙකෙන් පපුවෙ අමාරුව හැදිලා මැරිච්ච රජා ගැන කතා ගොඩයි. නියම කටහඬ. නටනවනං නටන්න කියතෑකි. අඬනවනං අඬන්න කියතෑකි. එල්විස් ප්‍රෙස්ලිව මේකට දැම්මෙ නැත්තං පුදුම අවුලක් වෙනවා.
 

 

8. එදත් අදත් නැලවෙන්න
World's Best Singers
Source – mirror.co.uk

මතක ඇති පුංචි කාලෙ එල්ටන් ජෝන් මහා විප්ලවයක් කළේ ඩයනට කියපු ගුඩ්බායි ඉන්ග්ලන්ඩ්ස් රෝස් සින්දුවෙන්. ඒ නැතත් පියානෝ එකෙන් රට කලම්බන මේ මහා සංගීතවේදියාට කටහඬ හැසිරවීමනං නතිං දෙයක්. එමිනෙම් එක්කත් කරනව නියම පෆෝම් කිරිල්ලක් මෑතකදි.
 

 

9. මැජික් සද්ද
World's Best Singers
Source – youtube.com/Cecilia Bartoli – Castrati

මේ අවුඅස්සෙ සොප්‍රානෝ ගායිකාවක්වත් ඔබ්බන්න වෙන්නෙ පිරිමි ගොඩයි එයා විතරයි වුනත් අහක දාන්න බැරි නිසායි. සිසිලියා බාටෝලි ගයන ගී හිතන්න අමාරු වුනත් අහන් ඉන්න අමාරු නෑ කියල අහද්දිම දැනේවි.
 

 

10. අයාසායක් නැති ඉන්ද්‍රජාලය
World's Best Singers
Source – osul.com.br

ඔපෙරා ගායකයෙකුගෙන් මේ ලිපිය හැඩකරවමු කියල යෝජනාවක් ආවම බහුශ්‍රැත වේදිකාවටත්, ආතල් වේදිකාවටත් දෙකටම සුපිරියට අහන්න පුළුවන් ගායනයක් ඉදිරිපත් කරන ටෙනර් ගායකයෙකුව අපි හොයාගත්තා. ලුසියානෝ පැවරොටි කියන්නෙ මේ සිස්ටම් එකේ ඉන්න විශිෂ්ටයෙක්.
 

 

11. රිදම් එකේම පවතින්න
World's Best Singers
Source – wtop.com

එක් තහනම් මත්ද්‍රව්‍යයක් එක්ක හොඳටම මුසුවෙන්නෙ මොනවද කියල හෙවුවම එන්නෙ ජෑස් සංගීතයයි. ඒ නොකැඩී ඇඟට දෙන රිදම් එක නිසාලු. ඔය කියන ජෑස්වලදි හෝ ස්වින්ග්වලදි වෙනසක් නැතුව ගයන්න පුළුවන් රජෙක් තමයි එනිසා මෙතනට ගේන්නෙ. ඒ ෆ්‍රෑන්ක් සිනාට්‍රා.
 

 

12. රිදම් රිදම් රිදම්
World's Best Singers
Source – independent.co.uk

ජෑස් කියද්දි, ස්වින්ග් කියද්දි ඇඟට දැනෙන්නම කියන්න පුළුවන් මේ කාලෙ වැඩ්ඩ කවුද කියල ඇහුවොත් ගින්නක් නැතුව කියන්න පුළුවන් නමක් තමයි මයිකල් බබ්ල්. ගායකයෙක් කියල දකින්න බලාපොරොත්තුවෙන පෙනුම නෙමෙයි පොරට තියෙන්නෙ. පෙනුම කන්නද කියල හිතෙන්නෙ වැඩ දැක්කම තමයි.
 

 

13. ගසල් සයුරේ කිමිදෙන්න
World's Best Singers
Source – pakium.pk

කිට්ටු රටක තියෙන මැජික් එකක් තමයි ගසල් කියන්නෙ. නුස්රත් ෆටේ අලී ඛාන් කියන්නෙ ඒකෙ යකෙක් කියන්න පුළුවන්. එයාගෙ ඥාති පුතත් ආයෙ ගහේ කටු උල් කරන්න ඕන නෑ වගේ මාමට හපං ගායනයන් තමයි අපේ මේ පුතයා ඉදිරිපත් කරන්නෙ. ඒ තමයි රාහත් ෆටේ අලී ඛාන්.
 

 

14. ආනන්දය මවන හඬක්
World's Best Singers
Source – easterneye.eu

ලිස්ට් එකේ ඉන්න අයගෙන් ජීවත්වෙන පුංචිම කෙනා තමයි මේ. අපි මෙයාව දාන්නෙ අපේ සොප්‍රානෝ ගායිකාවව මේ ලැයිස්තුවෙ පිරිමි ගොඩේ තනි කරන්න බැරි නිසා නෙමෙයි. ශ්‍රෙයා ඝෝෂාල් ඇත්තටම මැජික් එකක් නිසායි. නියම ක්ලැසික් වොයිස් එකක් තිබුනට හින්දි ෆිල්ම්වලට දඟකාර සින්දුත් කියන්න මේ රූමතියට හොඳට පුළුවන්.
 

 
Cover Image Source – rollingstone.com, tixr.com, teamrock.com, scoooops.com, edition.cnn.com, mirror.co.uk, nicematin.com, osul.com.br, wtop.com, independent.co.uk, pakium.pk, easterneye.eu