නෝට් පෑඩ් එකක් පාවිච්චියෙන් ඔබේ වැඩ වඩාත් ඵලදායී කරගන්න මේ උපදෙස් 10 කියවන්න

 

රස්සාවක් කරන මනුස්සයෙක් වුනත්, හවුස් වයිෆ් කෙනෙක් වුනත්, ඉගෙනගන්න කෙනෙක් වුනත් උත්සාහ කරන්නේ තමන්ගේ වැඩ ටික ඉක්මනට, සුපිරියට, කාර්යක්ෂමව කරන්නනේ. එහෙම වැඩ ඉවරකරගන්න පුලුවන් වෙනකොට අර දවසේ පැය විසිහතර තිබුණත් මදි කියන ෆීලින්ග් එක එන්නෙ නෑ. එතකොට කරන්න ඕනම වැඩ ටික අතෑරිලා අනික් වැඩ කෙරිලා කියන අවුල එන්නෙත් නෑ. වැඩ පටලැවිලා කියන ප්‍රශ්නේ එන්නෙත් නෑ. හැබැයි ලොකුම ගැටළුව තමයි ඕක කරන්නේ කොහොමද කියන එක. අන්න ඒකට පාවිච්චි කරන්න පුලුවන් හොඳම ටූල් එකක් තමයි නෝට්බුක් එකක්. මේ කියලා දෙන්න යන්නේ නෝට් බුක් එකක් පාවිච්චි කරලා කොහොමද තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සාර්ථකව ප්ලෑන් කරගන්නේ සහ කාලය කලමනාකරණය කරගෙන වැඩ කරගන්න, වැඩ කරන කොට ප්‍රමුඛතාවයන් තියාගන්න කොහොමද සටහන් පොතක් පාවිච්චි කරන්නේ කියන කාරණා ගැන තමයි. මතක තියාගන්න. අපි කියන මේ දේවල් කරන්න ගැලපෙන එක එක ඇප්ස් ඕන තරම් හොයාගන්නත් පුලුවන්. හැබැයි ඇප් වලින් ප්‍රොඩක්ටිවිටි ගොඩදාන්න ගිහින් වැඩේ අලවුණු අයට සහ ඔය නව තාක්ෂණේ අල්ලන්නෙ නැති ඕල්ඩ් ස්කූල් ඩයල් වලට තමයි මේ ආටිකල් එක හරියන්නේ. එහෙමනං පටාන් ගමු!

 

අතේ තියාගන්න නෝට් බුක් දෙකක් සහ සති සැලසුමක්. එහෙම නැතිනම් විශේෂ වැඩ වලට වෙනම නෝට් පොතක්. මතක තියාගන්න. මේ දේවල් තමන්ගේ වෘත්තීන් අනුව වෙනස් වෙනවා. එක්කෙනෙක්ට හිතට එන අදහස් ලියන්න නෝට්පොතක් තිබුණහම ඇති. තව කෙනෙක්ට ‍ටු ඩූ ලිස්ට් ලියන්න නෝට්පොතක් තිබුණහම ඇති. හැබැයි තවත් කෙනෙක්ට මේ ඔක්කොම අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ නිසා මුලින්ම තමන්ගේ වැඩකටයුතු අනුව අවශ්‍ය වෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.

 

1. ඔ‍ෆිස් වාර්තා තියාගන්න නෝට් පොත
How to Use a Notepad
Source – betafinancialservices.com

මේක ටිකක් කරදරකාරී වැඩක් කියලා පෙනෙයි. හැබැයි හිතන තරම් කරදරයක් නෑ. ගන්න හොඳ නෝට් පොත් දෙකක්. අර පි‍ටු අංක තියෙන, දිනේ දාන්න තියෙන නෝට්බුක් නම් ඒවා වඩාත් හොඳයි. දැන් ඔය එක නෝට්බුක් එකක් හැමවෙලාවේම අතේ තියෙන්න ඕන නෝට්බුක් එක. ඒ නිසා ඒකත් එක්ක පෑනකුත් තියෙනවා නං මරු. ඕකේ තමයි ඔ‍ෆිස් වැඩ වලට අදාළ හැම කුණුහරුපයක්ම ලියන්න ඕන. නෑ කුණුහරුප නෙවෙයි. හැබැයි මීටින් එකකදී කතාබහ වෙන වැදගත් දේවල්, බිස්නස් ප්ලෑන්, වෙනත් ඔ‍ෆිස් එකට අදාළ වෙනස් සැලසුම් වගේ හැම එකක්ම මේ පොතට ඇතුළත් වෙන්න ඕන. සමහර කම්පැණි වල මැනේජ්මන්ට් මීටින් එහෙම තියනකොට සටහන් තියාගන්න පෞද්ගලික ලේකම්වරු ඉන්නවා. ඒ හිටියට කමක් නෑ. ඔබේ ‍රැකියා තනතුරට අදාළ වෙන, ඔබේ වගකීම් වලට ඇතුළත් වෙන දේවල්, තීරණ වගේ දේවල් ලියාගන්න. මේකට හේතුව සරලයි. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ මීටිමකදී කියන කතාකරන දේවල් ඔලුවේ තියාගන්න. හැබැයි අපිට ඒ දේවල් ඔලුවේ රෙකෝඩ් වුනත් අවශ්‍ය වෙලාවට ඇදලා ගන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි නෝට්පොතකට දේවල් අමතක වෙන්නෙ නෑ.

 

2. බලිකුරු‍ටු නෝට් පොතක් නෙවෙයි හැබැයි
How to Use a Notepad
Source – james-saunders.com

සාමාන්‍යයෙන් අපි ක‍ටු සටහන් තියාගන්න නෝට් පොත කිව්ව ගමන් මතක් වෙන්නේ අර පොඩි එකෙක්ට චිත්‍ර අඳින්න පොතක් දුන්නා වගේ එකක් තමා. ඒ කියන්නේ ඒකේ උඩට පහළට පැත්තට හතර අතේට දේවල් ලියලා, ආයි සෙල්ලිපි කියවන පුරාවිද්‍යාඥයෙක් ආවත් ඒකේ තියෙන ඒවා හොයාගන්න බෑ. ඇත්තටම මෙහෙම වෙන්න හේතුව මේකයි. නෝට්පොතක් සටහන් තියාගන්න පාවිච්චි කරන අයෙගෙනුත් ගොඩක් දෙනෙක් එහෙම කරන්නේ අර පාවිච්චි කරන්න කියන නිසා. ඒ කියන්නේ ඒකෙන් තමන්ගේ කාර්යක්ෂමතාවය ගොඩදාගන්න ඕන කියලා හැබෑ වුවමනාවකින් නෙවෙයි. ඒ නිසා ඒ අයට ඒක පැහැදිලි වෙන්න, ආයෙමත් කියෝගන්න පුලුවන් වෙන්න ඕන නෑ.

එහෙම නෙවෙයි, තමන්ගේ සිස්ටම් එකක් හදාගන්න. මීටිමකදී කතා කරන දේවල් ලියන්න කලින් දිනේ දාන්න. දැන් ක‍ටු අකුරින් වුනත් කමක් නෑ, තමන්ට පහසුවෙන් කියවගන්න පුලුවන් විදියට දේවල් ලියන්න. හැමතැනම ලියන්නේ නැතුව පිළිවෙලකට ලියන්න. හැබැයි ඔය නෝට් පොතේ ගෙදර ගෙනියන්න ඕන බඩු ලැයිස්තු, ටෙලිෆෝන් අංක වගේ මෙකී නොකී අනවශ්‍ය දේවල් ලියන්නෙ නැතුව ඉන්න වෙනවා.

 

3. දෙවෙනි නෝට් පොත කරන්න ඕන වැඩ රෙකෝඩ් කරගන්න
How to Use a Notepad
Source – allaboutthehouseprintablesblog.com

දැන් අපි දවසේ කරන්න ඕන වැඩ රෙකෝඩ් කරගන්නේ කොහොමද? මොළේ රෙකෝඩ් කරගන්න එක තමයි ගොඩක් අය කරන්නේ. හැබැයි අනිවා වෙන්න පුලුවන් දේ තමයි මෙතනින් වැඩ කීපයක් වත් හැලෙන එක. දැන් ඔය ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් නෝට් පොතක් පාවිච්චි කළොත්. මෙතනදී සමහරුන්ට දිනපතා වැඩ පටන් ගන්න කලින් දවසේ කරන්න තියෙන වැඩ නෝට්පොතේ රෙකෝඩ් කරගන්න පුලුවන්. ඕන නම් සතියේ කරන්න තියෙන වැඩ ටික නෝට් පොතේ පොයින්ට් ෆෝම් එකට ලියාගන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න. මේකට තමන්ගේම සිස්ටම් එකක් හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් බුලට් පොයින්ට් දාන බුලට් සංකේතයන් ටිකක් හදාගන්න පුලුවන්. ඒ කියන්නේ කරන්න ඕන ඔ‍ෆිස් වැඩ වලට ධන ලකුණු. කෝල් කරන්න ඕන ඒවට ඉරි. ඔ‍ෆිස් එකෙන් පිට කරන්න ඕන වැඩ වලට රවුම්. ප්‍රමුඛතාවය වැඩියෙන් ලැබෙන වැඩ වලට බුලට් එකට අමතර තරු ලකුණක්. අත්‍යාවශ්‍ය හදිසි වැඩක් නම් තරු දෙකක්. ඔන්න ඔය විදියට. හැබැයි කරන වැඩ හරස් ඉරකින් කපලා දාන්න ඕන. එතකොට කරන්න තියෙන දේවල් දන්නවනේ.

Bulletjournal.com කියන්නේ මේකට තමන්ගේ ක්‍රමයක් හදාගන්න හැටි ඉගෙන ගන්න හොඳම තැනක්.

 

4. වැඩ වාර්තා නෝට් පොතෙන් ‍ටු ඩූ ලිස්ට් නෝට් පොතට
How to Use a Notepad
Source -thespruce.com

දැන් ඔය මීටිමේදී එහෙම කතා බහ වෙන දේවල් තියෙනවනේ ඉස්සරහට කරන්න ඕන වැඩ. ආන්න ඒවා එන්න ඕන වීක්ලි ප්ලෑනර් එකටයි ‍ටු ඩූ ලිස්ට් නෝට් පොතටයි. ඒවා ගොඩක් වෙලාවට කරන්න පුලුවන් දවසේ වැඩ අවසාන කරන කටයුත්ත විදියට. හැබැයි මෙතනදී මෙහෙම දේකුත් තියෙනවා. අපි කියමු මීටින් එකකදී බිස්නස් ප්ලෑන් එකක් ගැන කතා කරනවා. එතකොට කෙලින්ම දවස අන්තිමට ‍ටු ඩූ ලිස්ට් එකකට වැඩ එකතු කරනවට වඩා ඒක සංකීර්ණයි නේ. ඉතින් එහෙම දේවල් ගැන නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් විදියට බොස් කියනවා අහවලා එක්ක කතා කරලා මීටිමක් දාගන්න ඕන කියලා. ආන්න ඒක එතකොට ‍ටු ඩූ ලිස්ට් එකට ඇතුළත් වෙන්න ඕන. දැන් ඒ කෝල් එකෙන් පස්සේ මීටින්ග් එක කන්ෆර්ම් කරගන්න දවස් දෙකකින් කතා කරන්න කිව්වොත්, කම්ප්ලීට් කරපු වැඩේ කපලා දවස් දෙකකට පස්සේ ‍ටු ඩූ ලිස්ට් එකට ආයෙමත් කන්ෆර්මේෂන් කෝල් එක ඒ මොහොතේම ඇතුළත් කරගන්න ඕන. අන්න ඒ විදියට සිස්ටම් එක පවත්වගෙන යනකොට කිසිම වැඩක් මග ඇරෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, කරන වැඩ වල රෙකෝඩ් එකකුත් තියෙනවා.

 

5. සතිය ප්ලෑන් කරගන්න වෙනම සීන් එකක්?
How to Use a Notepad
Source – jetpens.com

මේක ඇත්තටම නෝට් පොතක් නොවුණත්, මේකේ කාර්යභාරයත් නෝට් පොත් දෙකේ වැඩ එක්කම යන නිසා අපි ඒකත් මේකටම දානවා. ඔය ඩයරි වල එහෙම තියෙන්නේ වීක්ලි ප්ලෑනර් එකක්. ආන්න ඒ විදියේ එකක් තියාගන්න එක වටිනවා. ඕන නම් Timeanddate.com වගේ සයිට් එකකට ගිහින් තමන්ට ඕන විදියේ ප්ලෑනර් එකක් පීඩීඑෆ් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරලා තමන්ගේ ප්ලෑනර් එකක් හදාගන්න පුලුවන්.

 

6. අයිඩියාස් රෙකෝඩ් කරගන්නත් නෝට් පොතක්
How to Use a Notepad
Source – gabrielmartinsphoto.com

දැකලා තියෙනවද සමහරු ඉන්නවා යන යන තැන පොඩි නෝට් පොතක් ගෙනියනවා? ඒ අය සමහර වෙලාවට ඔය නෝට් පොත පෙරළගෙන මොනවා මොනවා හරි ලියනවා. එක්කෝ ලියපුවා කියවනවා. වැඩ කෝටියයි. ඇත්තටම හොඳ අදහස් හිතට එන මනුස්සයෙක්ට එහෙම හැමවෙලාවේම අතේ තියාගන්න පුලුවන් පොඩි නෝට්බුක් එකක් තියෙන එක වටිනවා. මොකටද? අදහස් රෙකෝඩ් කරගන්න. අදහස් කිව්වහම මෙහෙමයි. අපි කියමු ලේඛකයෙක් කියලා. දැන් බස් එකේ යනකොට දකින දේකින් අලුත් ආටිකල් එකකට අයිඩියා එකක් එන්න පුලුවන්. දැන් ඕක හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ පහුවෙනිදා නිදාගෙන ඇහැරෙනකොට අයිඩියා එක මතක නැහැයි කියන එක වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා තමයි කියන්නේ නෝට් පොතක දේවල් ලියාගන්න කියලා.

 

7. මේ නෝට් පොත් වල කොහොමද දේවල් ලියන්න ඕන?
How to Use a Notepad
Source – linkedin.com

තමන්ට දැක්ක ගමන් කියවගන්න පුලුවන් විදියට, පිළිවෙලකට දේවල් තියෙනවා නං නෝට්පොතේ දේවල් කොහොම ලිව්වත් කමක් නෑ. හැබැයි එකක්. අපි කලිනුත් කිව්ව විදියට අවශ්‍ය දේවල් විතරක් අදාළ නෝට් පොතේ ලියන්න පුරුදු වෙන්න ඕන. උදාහරණයක් විදියට ඔ‍ෆිස් වැඩ ලියන නෝට් බුක් එකේ හරි, ‍ටු ඩූ ලිස්ට් නෝට් බුක් එකේ හරි හිතට එන කවි සංකල්පනා ලියලා හරියන්නෙ නෑ. ඒකට තියාගන්න අර අයිඩියාස් ලියන නෝට් බුක් එක. මේ විදියට එක් එක් කාර්යයන්ට පැහැදිලිව වෙනස් වුණු නෝට් බුක් කීපයක් පවත්වාගෙන යන එක වාතයි කියලා දැනුනත්, වැඩේ මාරම පිළිවෙලයි.

අනික් පැත්තට අපි නෝට් බුක් වල දේවල් රෙකෝඩ් කරනකොට අවශ්‍ය නම් ප්‍රස්තාර, රූප සටහන්, රුක් සටහන් වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන්. ඔය අස්සෙන් ඩූඩ්ල් එකක් එහෙම ඇන්දා කියලා අවුලක් නෑ. ඕක බලන්නෙත් අපිමනේ. ගොඩක් වෙලාවට නෝට්පොතක දේවල් පොයින්ට් ෆෝම් එකෙන් ලියන එක මාර සිම්පල් වගේම පැහැදිලියි.

 

8. සටහන් පොත් තමන්ට ඕන විදියට පවත්වාගෙන ගියාට කමක් නෑ
How to Use a Notepad
Source – framepool.com

මෙන්න මේකත් වැදගත් කාරණයක්. සටහන් පොත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට තමන්ගේම සිස්ටම් හදාගන්න එක වැදගත්. උදාහරණයක් විදියට අපිට ඔ‍ෆිස් වැඩ වාර්තා කරන සටහන් පොතේ අගට ඉන්ඩෙක්ස් එකක් නැත්නම් සූචියක් එකතු කරන්න පුලුවන්. එතකොට සටහන් පොතේ තියෙන විශේෂ දේවල් වලට හෙඩිමක් අර සූචියේ දාගන්න පුලුවන්. හැබැයි මේ වැඩේට පි‍ටු අංක කරලා තියෙන්න ඕන. එතකොට අපිට අර ඇක්ෂන් ප්ලෑන් එක ලිව්වේ කොහේද, මේ එසයිමන්ට් එකේ විස්තර කොහේද කියලා පි‍ටු පෙරළ පෙරළා ඉන්න ඕන නෑ. කෙලින්ම ඉන්ඩෙක්ස් එකට ගියා. ඒකේ තියෙන අවශ්‍ය මාතෘකාවට අදාළ පි‍ටු අංකේ පෙරළලා බඩු හොයාගත්තා. සිම්පල්. අනික් කාරණාව තමයි මේ හැම නෝට්පොතකම දින දාන එක වැදගත්.

සටහන් පොත් ඉවර වෙලා විසිකරන වෙලාව එනකොටත් ඒක රිවීව් කරලා ඒකේ වැදගත් කාරණා තියෙනවා නම් ඒකේ කොපියක් අරගෙන තියාගන්න එක වැදගත්. අන්න ඒකට ඕන නම් පොඩ්ඩක් ටෙක්නොලොජි පැත්තට ගිහින් ස්කෑනර් ඇප් එකක් පාවිච්චි කරලා ඩිජිටල් කොපි තියාගත්තට කමක් නෑ.

 

‍9. ටු ඩූ ලිස්ට් එකේ මග ඇරුණු වැඩ
How to Use a Notepad
Source – pinterest.com

මෙන්න මේක ඉතාම වැදගත් කාරණාවක්. ‍ටු ඩූ ලිස්ට් එකෙන් සමහර වැඩ අපිට කරන්න බැරි වෙන්න පුලුවන්. අන්න එතකොට අපිට පුලුවන් ඒක අත්‍යාවශ්‍ය වැඩක් නම් ඊලඟ දවසේ ලිස්ට් එකට දාන්න. එහෙම දානකොට ඉස්සරහින් ඒක ඉදිරියට ගෙන ගියා කියලා දාන්න මොකක් හරි සංකේතයක් (>) හදාගන්න. දැන් ඒක සංකේතය දාලා ලිස්ට් එකෙන් කපලා දාන්න. දැන් අපි හිතමු අපි සතියකට හරියන්න වැඩ කටයුතු බෙදලා ලිස්ට් කරගෙන ඉන්නේ කියලා. සතියේ වැඩ අපි රිවීව් කරනකොට ඔය මග ඇරුණු වැඩ කටයුතු වෙනම අරගෙන හිතන්න. දැන් ඒ වැඩ තවමත් කළ යුතු නම්, ඒ කියන්නේ ඒ වැඩේ කරන එකේ වැදගත්කමක් තවත් තියෙනවා නම් ඒවා ඉස්සරහ සතියකට ගේන්න. තව දුරටත් ඒ වැඩේ කරලා තේරුමක් නැහැයි කියලා හිතෙනවා නම් ඉස්සරහින් කතිරයක් දාලා ඒක කපලා දාන්න.

 

10. සටහන් පොත් සමාලෝචනය කරන්නත් ඕන
How to Use a Notepad
Source – videohive.net

සාමාන්‍යයෙන් සතියකට සැරයක් බැරිනම් මාසෙකට සැරයක් තමන්ගේ නෝට් පොත් පෙරළලා බලන එක වටිනවා මොනවද කරලා තියෙන්නේ, මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. එතකොට තමන්ගේ සතියේ හෝ මාසේ වැඩකටයුතු ගැන වාර්තාවක් ඉබේම නෝට් පොත් හරහා හැදිලා තියෙනවා කියන එක තේරෙයි. අනික් කාරණේ තමයි මේ සමාලෝචනයෙන් ඉගෙන ගන්න දේවල් අනාගතේ වැඩ සැලසුම් කරනකොට එකතු කරගන්න ඕන. උදාහරණයක් විදියට අපි කියමු පළවෙනි මාසේ දවසකට නියමිත වැඩ වලින් අපේ අතින් බාගයයි කෙරෙන්නේ කියලා. ඒ කියන්නේ එක්කෝ අපි දවසේ කරන්න බැරි තරම් වැඩ පටවගන්නවා කියන එක. එහෙම නැතිනම් අපි වැඩ කරන සිස්ටම් එකේ අවුලක් තියෙනවා කියන එක. ඒ කොහොම වුනත් දවසේ අපි නියම කරගන්න වැඩ දවස ඇතුළත කරලා ඉවර කරන්න ක්‍රමයක් හදාගන්න ඕන. එතකොට පටන් ගැන්මට අපිට පුලුවන් ඉස්සරහා මාසෙදී එක දවසකට නියම කරගන්න වැඩ ප්‍රමාණය අඩු කරලා බලන්න. ඒක හරියන්නෙ නැතිනම් සිස්ටම් වෙනස් කරගන්න වෙනවා. මෙන්න මේ විදියට තමන්ගේ වැඩ දියුණු කරගන්න මේ නෝට්පොත් වල තියෙන රෙකෝඩ් පාවිච්චි කරන එක අනිවා කරන්න ඕන දෙයක්.

 
Cover Image Source – conceptualdevices.com