චොකලට් රස වෑහෙන බ්‍රවුනි එකක් කන්න කොළඹ අවට තියෙන තැන් 6ක්

දැන් ඔය හිටපු ගමන් අපිට එක එක දොළදුක් එනවනේ. සමහර වෙලාවට ඉන්න බැරි ආසාවක් එනවා චොකලට් තවරපු බ්‍රවුනි එකක රස බලන්න. ඒ කියන්නේ ඔය නිකම්ම කො‍ටු කපපු ගල් ඉස්පංචි වගේ තියෙන බ්‍රවුනි නෙවෙයි. එක්කෝ පිටින් හොඳට හයි වෙන්න බේක් කරලා, හැබැයි ඇතුළේ බොහොම මෘදු ගතියට තියෙන බ්‍රවුනි එකක්. එහෙම නැතිනම් අර චොකලට් බේරෙන ගතියට ඇතුළ පිට දෙකම මෘදු ගතියට තියෙන බ්‍රවුනි එකක්. ස්වීට් ටූත් තියෙන ඩයල් එකකට නං මෙහෙම බ්‍රවුනි එකක් ගැන මතක් කළත් කටට කෙළ උණනවනේ. ඉතින් මේ කියන්න යන්නේ ඊලඟ වතාවේ එහෙම බ්‍රවුනි එකක් කන්න පිස්සු ආසාවක් ආවහම යන්න පුලුවන් කොළඹ තියෙන තැන් කීපයක් ගැන.

 

1. Water’s Edge Bakery
Source – defence.lk, watersedge.lk, tasty.lk

වෝටර්ස් එජ් එක හැමෝම දන්නවනේ. මේකේ තියෙනවා බේකරි එකක්. අන්න ඒකේ තියෙනවා චොකලට් බ්‍රවුනි ගන්න. ලොකු ගාණක් නෑ. හැබැයි ලොකු කෑලි කපපු, මෘදු චොකලට් බ්‍රවුනි වලින් එකක් කෑවත් ඇති. ෆජ් බ්‍රවුනීස් තමයි හැබැයි මෙතන තියෙන්නේ. කෑල්ලක් රුපියල් 225 ක් වුණත්, ඕන නම් මුළු ෆජ් කේක් එකම ගන්න පුලුවන් රුපියල් 2800 කට.
 

දුරකථන අංකය: 0117208777

 

2. Skrumptious
Source – promo.lk, wow.lk, facebook.com/Skrumptious.lk

මෙන්න බ්‍රවුනි පාටියක් එහෙම දාන්න ඕන නම් බ්‍රවුනි ගන්න ඕන තැන. එහෙම කියන හේතුව මේකයි, මේ අය ගාව තියෙන බ්‍රවුනීස් වල විවිධත්වය දැක්කහම මුලින් පිස්සු හැදෙනවා. ඊට පස්සේ රස වෑහෙන මේ බ්‍රවුනි වලින් අපිට එක වර්ගෙකින් කෑල්ල ගාණේ කෑවත්, වර්ග දෙකතුනකට වඩා ට්‍රයි කරන්න අමාරුයි කියලා දැනගත්තහම ආයෙමත් පිස්සු හැදෙනවා. ලිස්ට් එක කිව්වොත් Oreo Brownie, Peanut Butter Cookie Brownie, Dark & Orange Chocolate Brownie, Dark & White Chocolate Brownie, Strawberry Cream Brownie, Rocky Road Brownie, Mint Swirl Brownie, Mocha Cream Cheese Brownie, Bounty Brownie, Cream Cheese Swirl Brownie, Premium Assortment Brownie තමයි මෙතන තියෙන්නේ. හැබැයි ගාණත් ලොකු අවුලක් නෑ. උදාහරණයක් විදියට කිව්වොත්, හය දෙනෙක්ට කන්න පුලුවන් විදියේ බ්‍රවුනි ග්‍රෑම් 300ක් මිල වෙන්නේ රුපියල් 1100 ඉඳන් රුපියල් 1300 දක්වා අතර තමයි.
 

දුරකථන අංකය: 0777009995



 

3. Brownie Lovin’
Source – drecome.lk, facebook.com/brownielovin.lk

චොකලට් වෑහෙන බ්‍රවුනි කන්න ඕන නම් මෙන්න යන්න ඕන තැන. මේ අය ගාව තියෙනවා ඕනම බ්‍රවුනි පිස්සෙක්ව ආයෙමත් පිස්සු වට්ටන්න සමත් වෙන කලෙක්ෂන් එකක්. අර කෑලි අහුවෙන්න තියෙන ඔරිජිනල් බ්‍රවුනි වගේම වැඩිපුර චොකලට් දාලා මඩ් කේක් ලෙවල් එකට හිටින්න හදපු Talk Dirty to Me කියලා නම් දාපු බ්‍රවුනි, චොකලට් බිස්කට් පුඩින්ග් එක්ක එකතුකරලා හදපු බ්‍රවුනි, යහමින් මයිලෝ කුඩු එකතුකරලා හදපු මයිලෝ බ්‍රවුනි වගේ තව සෑහෙන්න එක එක විදියේ නිර්මාණශීලී බ්‍රවුනි වර්ග මෙතන තියෙනවා. හැබැයි එකක්, දවසකට කලින් ඕඩරේ දෙන්න ඕන.

දුරකථන අංකය: 0779648354

 

4. Treats n Stuff
Source – plus.google.com, sweets.lk

මෙන්න තවත් බ්‍රවුනි ලෝලීන්ගේ පාරාදීසයක්. ඇත්තටම කොළඹ ගොඩක් කොෆී ෂොප් වල අනිවා බ්‍රවුනීස් හොයාගන්න තියෙනවනේ. හැබැයි මේ වගේ තැන් විශේෂ වෙන්නේ තියෙන බ්‍රවුනීස් රේන්ජ් එක නිසා. උදාහරණයක් විදියට Treats n Stuff එකේ Classic Brownies වලින් පටන් ගත්තහම Ganache Brownies, Mocha Brownies, Rocky Road Brownies, Double Choc Brownies, Oreo Brownies, Cashew Praline Brownies වගේ බ්‍රවුනි ජාති සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. මේ වල මිල ගණන් රුපියල් 900 ඉඳලා ඉහළට තියෙනවා. ඒ කියන්නේ කෑලි දොළහක් හරිද. ඒ විතරක් නෙවෙයි, Android හරි iOS හරි ඇප් එකකින් ඕඩරේ දෙන්නත් ඇහැකි.

දුරකථන අංකය: 0777877166

 

5. Coffee Stop
Source – tripadvisor.com, zomato.com

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ ලොබියේ තියෙන කොෆී ස්ටොප් එක අවුරුදු ගණනාවක් තිස්සේ කෝපි එකක් බීලා කයියක් ගහන්න කියාපු තැනක් විදියට දන්නෝ දැනගෙන හිටියා. තරු හෝටලයක් නිසා මිල ගණන් පොඩ්ඩක් විතර වැඩියි, හැබැයි හිතන තරම් ලොකු වැඩියකුත් නෑ. හරි බ්‍රවුනීස් ගැන කියන්නනේ ආවේ. මෙතන තියෙනවා බ්‍රවුනීස්. එක එක ජාතියේ බ්‍රවුනීස් නැහැ. හැබැයි අපේ ප්‍රියතම ක්ලැසික් බ්‍රවුනීස් තියෙන තැනක් නිසා ලිස්ට් එකට ගන්නවා. මෙතන තියෙන සෑහෙන්න ලොකු බ්‍රවුනි කෑල්ලක් පෙනුමෙන් කොහොම වුනත් මාර සොෆ්ට්, චොකලට් රසයෙන් පිරිලා කියලා කනකොට තේරෙනවා.

දුරකථන අංකය: 0112497382

 

6. Dark Temptations
Source – facebook.com/darktemptationssl

මෙන්න තවත් රස වෑහෙන ගෙදර හදන බ්‍රවුනී පොට් එකක්. මෙතනත් කලින් ඕඩරේ දීලා තමයි බ්‍රවුනීස් හදාගන්න තියෙන්නේ. මෙතන බ්‍රවුනීස් ගැනත් අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. මේ බ්‍රවුනීස් දැක්කහම ඒකේ තියෙන චොකලට් වෑහෙන, උකු මඩ් කේක් වගේ ගතිය එක්ක එන ලස්සන නිසා දෑස පිනායයි. ඉන් පස්සේ කාලා බලනකොටත් ඒකේ තියෙන චොකලට් වෑහෙන, සොෆ්ට්, රසවත් කම නිසා රසනහරත් පිනා යයි. හැබැයි එක කෑල්ලකට වඩා කන්නටත් බැරි වෙයි. මෙතනත් Chocolate Brownies, Nutty Chocolate Brownies, Nutella Brownies, Strawberries and Cream Brownies වගේ බ්‍රවුනීස් වර්ග කීපයක්ම තියෙනවා ‍තෝරගන්න. ලොකු බ්‍රවුනීස් තැටියක් රුපියල් 1800 ඉඳන් රුපියල් 4400 දක්වා වගේ විශේෂත්වය අනුව මිල වෙනකොට, පොඩි බ්‍රවුනීස් තැටියක් රුපියල් 900 ඉඳන් රුපියල් 2200 දක්වා වගේ වෙනවා. මේ පොඩි තැටියක හය දෙනෙක්ට විතර කන්න බ්‍රවුනීස් තියෙනවා.

දුරකථන අංකය: 0777880830