මේ Triumph Spitfire MK 3 කාර් එක තියෙන්නේ ලංකාවේ… පුදුමත් හිතෙනවා නේද?

ප්‍රකාශන හවුල්කරු

 

 

නවීන පන්නයේ රථ වාහන කියන්නේ සෑහෙන්න සංකීර්ණ යන්ත්‍ර. සාමාන්‍ය සෙඩාන් කාර් එකක් ගත්තත් ඒකෙ අර මිනිස්සුන්ව හඳට ගෙනිච්ච ඇපලෝ අභ්‍යවකාශ යානාවටත් වඩා පරිගණක කෑලි තියෙනවනේ. අලුත් කාර් එකක් මිලදී ගන්න එකේ වාසි ගොඩක් හැම අතින්ම තියෙනවා, විශේෂයෙන්ම විශ්වාසය සහ පර්ෆෝමන්ස් අතින්.

ඒ උනත් අමු ඇනලොග් වාහනේකින් සුපිරිම සතුටක් ලබන්න පුලුවන් කියලා දන්නේ ඒවා එලවපු සහ ඒ අත්දැකීම විඳපු අය විතරයි. ඇත්තටම ඒ සතුට එන්නේ තමනුයි පාරයි අතර කිසිම දෙයක් මැද්දෙ නෑ කියල හිතෙන නිසයි. ඒ විතරක් නෙවෙයි, ස්පැනර් කීපයකුයි, සොකට් ටිකකුයි, ලොකු මිටියකුයි, වාහන ගැන තාක්ෂණික දැනුමකුයි තිබුනොත් ගොඩක් වාහන තමුන්ටම රෙපෙයාර් කරගන්නත් පුලුවන්. ඒ වුනාට මේ විදියට අලුත් කාර් හදන්න නම් අමාරුයි. අලුත් කාර් හදන්න නම් සොෆ්ට්වෙයාර් ඩිග්රි ඕනෙනේ.

ඉතින් ඇනලොග් වාහනයක ඒ මතකයත් එක්ක අපි අද කියන්නේ යන්නේ ලංකාවේ තියෙන ලස්සනම ලස්සන සහ පර්ෆෝමන්ස් අතින් තවමත් ඉහලින්ම තියෙන කාර් එකක් ගැන. ඒ තමයි Triumph Spitfire MK 3 කියන්නේ.

 

1. ඇස් කඩාගෙන යන හැඩය සහ ලස්සන එක්ක…
Source – youtube.com/Triumph Spitfire MK3 fully restored VIDEO

මේ සුන්දර වාහනය දිහා බලන්න, මේකෙ නියමම ස්පෝර්ට් වාහනේක ලක්ෂණ තියෙනවා – සැහැල්ලු බර, සීට් දෙකයි, රියර් වීල් ඩ්‍රයිව්, සද්දෙ දාන එග්සෝස්ට් එක, නැමිය හැකි වහලෙ, ඒ වගේම ධාවකයා සහ වාහනය අතර මැද්දට ඇවිත් සම්බන්ධය කඩන්න කිසිම දෙයක් නෑ.

 

2. මේ කාර් එක ගැන කියනවා නම්
Source – tntmag.net

මේ මෝටර් රථය 1970 Triumph Spitfire Mark 3 කාර් එකක්. මේක අයිති ක්ලයිව් ද සිල්වාට. ඔහුට අනුව ඔහු සතු වාහන අතරින් ධාවනය කරද්දි සුපිරිම විනෝදයක් ගෙන දෙන්නේ මේ වාහනය කියලයි කියන්නේ. මීට අමතරව ක්ලයිව් ලඟ හිතට දැනෙන විදියට එලවන්නට පුළුවන් වාහන කීපයක්ම තියෙන නිසා ඉහත ඔහු කියූ කතාව Triumph Spitfire කාර් සම්බන්ධයෙන් හරිම වැදගත් එකක්.

 

3. රෙපෙයාර් වලටත් ලේසියි
Source – tntmag.net

ඒ වගේම මේ කාර් එක ඔහුගේ වාහන අතරින් රෙපෙයාර් කරන්නත් ලේසිම එකලු. ක්ලයිව් සහ ඔහුගෙ පියා 1990 ගණන් වල මේ කාර් එක ගන්නකොට ඒක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක  තිබුන නිසා ටික කාලයක් ගත්තු විදියටම දුවලා තියෙනවා. ඊට පස්සෙ තමයි හදල ගන්න හිතල තියෙන්නෙ. ඉතින් මුලින්ම පොඩි බේසික් මිකැනිකල් වැඩ ටිකක් හරිගස්සලා, පේන්ට් එක සම්පූර්ණයෙන්ම අයින් කරල දැන් තියෙන Audi වලට පාවිච්චි කරන නිල් පාට ගාල තියෙනවා. වාහනේ ආපහු දුවන්න ගත්තට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ වාහනේ පාරෙයි ට්‍රැක් එකෙයි දෙකේම එලවන එක විනෝදජනක වෙන්නත්, විශ්වාසය වැඩි කරන්නත් දිගටම අප්ග්‍රේඩ් කරල තියෙනවා.

 

4. ඉතින් මොනවද ඒ කරපු Upgrades?
Source – tntmag.net

සාමාන්‍යයෙන් Spitfire වේගෙන් යනකොට කන්ට්‍රෝල් නැතුව බඹරෙ වගේ කැරකෙන්න ගන්නවා. ඒ හින්දා ඉස්සෙල්ලාම හැන්ඩ්ල් කරන්න ලේසි වෙන්න පොලියූරතීන් සස්පෙන්ශන් බුශ්, කෝනි ස්ප්‍රිං සහ ඉස්සරහ පහත් කරල, හයිය කරල ගන්න ශොක්ස් හයි කරල. Spitfire එකේ අලුත් කාලේ යුනීක් ෆීචර් එකක් උන තනි පිටිපස සස්පෙන්ශන් එක එහෙම්මම තියල තියෙනවා.

එකම දේ පිටිපස්ස වඩා හොඳට කන්ට්‍රෝල් කරන්න, අලුත් ශොක්ස් දාල, කීප සැරයක් අත්හදා බලලා කැම්බර් සෙටිංස් සෙට් කරගන තියෙනවා. සියුම් නමුත් වැදගත් වෙනස්කම් ටිකක් එන්ජිමට කිරීමෙන් ඔරිජිනල් එකට වඩා පවර් එක වැඩි කරගෙන තියෙනවා (මේ ගැන වැඩි විස්තර සඳහා මේ ලිපිය අවසානයට තිබෙන  #underthehood නමැති කොටස බලන්න ). ඊට පස්සේ ගියර් බොක්ස් එක වෙනුවට වඩා වේගයෙන් යෑමට පුලුවන් වෙන්න Overdrive Unit එකක් සවිකරල තියෙනවා. අන්තිම මොඩිෆිකේශන් එක තමයි ස්ටෑන්ඩඩ් ඒවට වඩා පළල් අඟල් 13 Minilite රෝද දැමීම. තරමක් පහත් කරපු සස්පෙන්ශන් එකත් එක්ක මේකෙන් වාහනයට වඩා බලවත් පෙනුමක් එකතු කරනවා.

 

5. මොඩිෆයි කලේ ගෙදරදීම තමයි
Source – tntmag.net

ඒගොල්ලන්ගේ කාර් හදන්න අවශ්‍ය හැම දෙයක්ම ගෙදරම තියෙන නිසා, මේ ඔක්කොම මොඩිෆිකේශන් ටික ගෙදරදිම තමයි කරල තියෙන්නෙ. ඒකට Spitfire එකේ සරල බව සහ පහසුවෙන් එන්ජිම ඇක්සෙස් කරන්න පුලුවන්වීමත් ප්‍රධානම හේතුවක් වෙනවා.

වැඩේ පහසු වෙන්න තවත් කාරණයක් තමයි, Spitfire එක ලෝකෙ පුරාම වඩාත්ම ජනප්‍රිය ක්ලැසික් කාර් එකක් නිසා, අවශ්‍ය කරන ඕනෑම පොඩි ස්පෙයාර් පාර්ට් එකක් (නට් එකක් හරි වොශර් එකක් උනත්) ලොකු කරදරයක් නැතුව එංගලන්තෙන් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්.

මේ වැඩ සියල්ලේම අවසාන ප්‍රතිඵලේ තමයි ඕනෑම වෙලාවක මුහුණට සිනාවක් ගෙනදෙන, උපරිමේට දුවන්න පුලුවන් අවුරුදු 44ක් පරණ කාර් එකක් ක්ලයිව් සහ ඔහුගේ පවුල සතුවීම.

 

6. අලුත් කාර් වලට ඇපත් නෑ බ්‍රෝ
Source – youtube.com/Triumph Spitfire mkIII 1967 wire wheels very good condition

ස්ටෑන්ඩඩ් Spitfire එකක් එක්ක බලනකොට, මේ වාහනයට ඊට වඩා ගොඩක් අලුත් ස්පෝර්ට් කාර් එක්ක උනත් තරඟෙට දුවන්න පුලුවන්, බලවත් එන්ජිමක් සහ හැන්ඩ්ලින් තියෙනවා. ක්ලයිව් කාර් එක බබා කරන්නෙත් නෑ. පන්නල සහ කටුකුරුන්ද තරඟ වගේම සතිඅන්තෙට සෑහෙන්න පාරෙත් දුවනවා.

ඒ විතරක් නෙමෙයි, මේ වාහනේ සාමාන්‍යයෙන් ධාවනය වෙන්නෙත්, ස්පෝර්ට් කාර් එකක් ධාවනය විය යුතු ආකාරයටයි. එක අතකට එහෙම වීම පුදුම වෙන්න දේකුත් නැහැ. මොකද, ක්ලයිව් කියන විදියට ඒගොල්ලන්ගේ පවුලේ පාඨය තමයි “කාර් හදල තියෙන්නේ දුවන්න” කියන එක. කියනව විතරක් නෙමේ පුලුවන් හැම වෙලාවකම ඒක ක්‍රියාවට නංවන්නත් ඔවුන් පසුබට වෙන්නේ නැහැ.

මොනවා වුනත් ඒ කතාව ඇත්තටම සරල වාහනයකට අනිවා ගැලපෙන නියම  අදහසක්.

 

7. ක්ලයිව් ගැන කියනවා නම්…
Source – dailynews.lk

මේ මෝටර් රථයේ හිමිකරුවා වන්නේ ක්ලයිව්. ක්ලයිව් ද සිල්වාට මතක කාලෙක ඉඳන්, ඔහුට කාර් පිළිබඳ දැඩි උනන්දුවක් තිබිල තියනවා. ඔහුගේ මතය නම් බොහෝ විට ඔහුගේ පළමු වචනය වෙන්නට ඇත්තේ “කාර්”!. ඒක ඇත්තය කියලා හිතෙනවා මදිවට පරම්පරාවෙන් නහර දිගේ ගලන්නේ පෙට්‍රල්ද කියලත් හිතෙනවා ක්ලයිව් සහ ඔහුගේ පියා ලඟ තියෙන සිත්ගන්නාසුලු ක්ලැසික් වාහන එකතුව දැක්කම.

මේ සුන්දර වාහන එකතුව අස්සේ මුලු ආසියාවේම තුනක් විතරක් තියෙන විරල SS/Jaguar SS100 කාර් එකකුත් ඇතුලත්. ක්ලයිව් තම ධාවන දිවිය පටන්ගන්නේ තම සහෝදරියගෙන් “ඉල්ල ගත්තු” Mini රථයකින්. ඉන්පසු ඔහු “ටර්බෝ වැඩ කරන්න ගත්තම ඒ සම්බන්ධයෙන් නියම අත්දැකීමක්” වුන Subaru B4 වාහනයක් පාවිච්චි කරල තියෙනවා. ඊට පස්සෙ Audi A.4 එකක් සමග ටික කලකට ජර්මන් වාහන වලට මාරු වෙලා. නමුත් ටර්බෝ බොක්සර් එකට ඇති ආසාව නිසා ආයෙත් ඒ පැත්තට ගිහින්. ඔහු දැන් දුවන්නෙ වෙළෙඳපොලේ ඇති සුපිරිම Subaru Sti5 කන්වර්ශන් එකක්.

මේ වාහන ගැන ඔහුගේ වචනයෙන් කියනවා නම්, “අලුත්, පරණ, කිසි භේදයක් නෑ, හැම වාහනයකටම ආදරේ කරන්න. එහෙම ආදරේ කරන කෙනෙක්ගේ ලේ වල තියෙන්න ඕනේ කාර්”.
ක්ලයිව් ගැන දන්න අපිත් ඒ වචන එක හිතින්ම අනුමත කරනවා.

 

#underthehood

Spitfire Mk3 බලගැන්වෙන්නේ කුඩා Triumph OHV ස්ට්‍රේට් 4 මෝටරයේ 1296 CC ප්‍රමාණයේ මෝටරේකින්. මේක Mk1 සහ Mk2 බලගැන්නූ 1147CC මෝටරේ වැඩි දියුණු කරලා හදපු වර්ශන් එකක්. ද්විත්ව SU කාබියුරේටර් සහිත Mk3 ස්ටෑන්ඩඩ් බලය 75BHP, සහ 4000 rpm විට 102nm ව්‍යවර්තයක්. ඒ මගින් මේ 117 බර කාර් එක 0 සිට 153 kmph වගේ උපරිම වේගයකට තත්පර 13.5න් ගේන්න පුලුවන්. ක්ලයිව්ගේ වාහනේ නම් කාලයක් තිස්සේ කෙරුනු දියුණු කිරීම් නිසා ඊට වඩා ටිකක් පර්ෆෝමන්ස් තියෙන්න ඕනේ කියලා අපි හිතනවා.

වාහනයේ මුලදීම ඔප්ශනල් අධි සම්පිණ්ඩන (High Compression) එන්ජිමක් තිබීම හොඳ ආරම්භයක් උනා. ඒකට ගැලපෙන්න සිලින්ඩර් හෙඩ් එක පෝර්ට් සහ පොලිශ් කරල තියෙනවා, ඒ වගේම ස්පාර්ක් ප්ලග්ස් අප්ග්‍රේඩ් කරල සිලිකොන් අධි ආතති (HT) ලෙඩ් සහ අවහිර වීම අඩු K&N ඉන්ටේක් ෆිල්ටර් සවිකර තිබෙනවා. කස්ටමයිස් කරපු එග්සෝස්ට් බටේ නිසා හොඳින් වායු පිට වෙනවා විතරක් නෙමෙයි, නියමම හඬකුත් එනවා.

ද්විත්ව SU කාබියුරේටරේ එන්ජින් බලය වැඩිකරන්න අලුතින් ජෙට් කරල, ටියුන් කරල තිබුනට, ඉන්ධන සැපයුම තාම සිද්ද වෙන්නෙ ඒ හරහා. නමුත් ක්ලයිව්ගේ ප්ලෑන් එක ඒ වෙනුවට එන්ජිමෙන් උපරිමේ ලබා ගන්න වෙබර් පාවිච්චි කරන එකයි. වෙනම ඔයිල් කූලර් එකකුයි විශාල රේඩියේටරයකුයි සවි කරල තියෙන නිසා ක්ලයිව් ගේ නිල් පාට Triumph Spifire MK 3 කාර් එක පාරෙ හරි ට්‍රැක් එකේ හරි ගිනියම් වෙන්න දුවද්දි ඉක්මනටම කූල් වෙනවා.

 

 

Cover Image Source – commons.wikimedia.org