ගති හොරර් ෆිල්ම් එකක් හදනවනං මෙන්න මේ විදිහෙ පොරවල්ගෙ සහය ගන්න

හොරර් ෆිල්ම් කියන්නෙ ලංකාවෙ තාම වැඩිපුර නොහැදෙන ෆිල්ම් කැටගරියක්නෙ. මේ කියන්න යන්නෙ ලංකාවෙ කෙනෙක් හොරර් ෆිල්ම් එකක් හදනවනං ‍ඒකට ලේසිම විදිය ගැනයි. නැචුරල්ම විදිහට වැ‍ඩේ සිද්ධ කරගන්න අපි මේ කියන ටයිප් එකේ කට්ටිය කෲ එක විදියට හයර් කළොත් පුළුවන්කම ලැබෙනවා. අනිවා එකෙන් මේ උදවුව කරන්නෙ හොරර් ෆිල්ම් එකක් ලාබෙට කරන්න හිතාගෙන ඉන්න ප්‍රඩියුසර් කෙනෙකුටයි ඩිරෙක්ටර් කෙනෙකුටයි උදවුවක් විදියටයි.

 

1. කැත නළුවො ටිකක්
Source – gramunion.com

මෙන්න මූලිකම අවශ්‍යතාවය. ඒ තමයි හොල්මන් චරිත වලට ගැලපෙන විදිහේ කැත නළු නිළියෝ ටිකක්. එතකොට මේකප් එකට වැඩි වියදමක් යන්නෙ නෑ. අනිත් එක ඩෝං ගාලා හිතේ බය ඇති කරවන්න මේ අයට පුළුවන්. නළු නිළියෝ අතරේ කැත අය නැත්තං, නළු නිළියෝ නොවන කැත අය ටිකක් හරි මේකට තෝරලා ගත්තත් පාඩු නැහැ. මොකද ඔය සමහර ගෙවල්වලත් ඉන්නවනෙ හවසක දැක්කොත් අතේ තියෙන පිඟන් කෝප්ප වැටෙන ටයිප් එකේ මූණු තියෙන අය.

 

2. ලයිටිං අවුල් ලයිට් කරන බුවායි
Source – imgur.com

දැන් ඇත්තටම හොරර් ෆිල්ම් එකක වැඩිපුරම වැඩ සිද්ධවෙන අංශයක් විදියට ලයිටින් හඳුන්වන්න පුළුවන්. කැමරා එකට ඕකේ වෙන විදියට පාලනය කළ කට්ට කළුවරක් වගේම එක පාරට නිවිලා පත්තු වෙන ෆ්ලෑෂ් ලයිට් වගේ සීන් මේ වගේ වැඩකදි ඕන වෙනවා. දැන් ඉතිං අපි කියන මේ කතාවට මේ වගේ වැඩ හිතල මතල කරන බුවෙක් ආවොත් වෙලාව යනව වැඩියි. ලයිට් ඩිම් කරන්න අමතක වෙන, තමුන්ගෙ ලයිට්වල තමුන්ගෙ කකුලම හැපිලා ප්ලග් ගැලවෙන ඩයල් එකක් තමයි මේ වැඩකදි තෝරගන්න ඕන. එතකොට වැඩේ නැචුරල්. එතකොට ෆිල්ම් කෲ එකත් හොල්මන් පිට තමයි වැඩ කරන්නෙ.

 

3. කැමරා ෆෝකස් කරන්න බැරි සිනෙමාටෝග්‍රැෆර් කෙනෙකුයි
Source – horrorgeeklife.com

මේකත් නිකං අර මකබාස් ක්ලියෝපැට්‍රාට යවපු කේක් එකේ රෙසිපිය වගේ තමයි. ඒ වුනත් මේවා නොකියා බැහැ. එක පාරටම ෆෝකසින් අවුට් යන, අත හෙල්ලිලා මොන ස්ටේබලයිසර් තිබ්බත් බැලන්ස් කෙල වෙන කැමරා අධ්‍යක්ෂකවරයෙක්වත් වැඩේට සෙට් කරගන්න ඕන. මෙහෙම කරාම කවුරුත් ෆිල්ම් එක හදල ඉරවෙනකං ඒක මොනවගේද කියල දන්නෙ නැහැ. අන්න ඒකයි ඒකෙ තියෙන වාසිය.

 

4. ගන්න දෙයක් නැති පසුතල
Source – horrorgeeklife.com

ගන්න දෙයක් නැති ගෙදරකුයි, කැඩිච්ච ඇඳන් ඇතුළු බඩු ටිකකුයි එක්ක මෙලෝ රහක් නැති ආට් ඩිරෙක්ටර් කෙනෙක් හොයාගන්න ඕන. අන්න එතකොට පුළුවන් මේ වගේ වැඩකදි සාර්ථකත්වයක් ලබන්න. වැඩි වියදං ඕනෙත් නෑ. වෙනිං ප්‍රඩක්ෂන්වල කරනවා වගේ හොඳ ගෙවල් අරගෙන එවුව දුර්වර්ණ කරන්න ඕනෙත් නෑ. කැඩිච්ච පුටු අලුතෙන් හදන්න ඕනෙත් නෑ. සුපිරියට වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

 

5. මියුසික් අවුල් ඩයල් එකක්
Source – pisanieprac.info

මේකත් වැදගත්. ඔය සමහර මේ කාලෙ හැදෙන සින්දුවලටත් මියුසික් හොඳටම අවුල් මියුසීෂියන්ස්ලා වැඩ කරනවනෙ. ඇහුවම බඩ දඟලනව. අන්න ඒ වගේ එක පාරට ෆ්ලෝ එක කැඩිලා දොහ් ගාලා මියුසික් නවතින, රීං ගාලා කං දෙදරන්න වයලින් පාට් මැද්දෙන් ඇදෙන, ජකස් ගාලා බෙර පැලෙන මියුසික් මරුවෙක්ව මෙහෙම ෆිල්ම් එකක ස්කෝ එක කරන්න ගන්න ඕන. එතකොටයි පුතෝ බය ගතිය වැඩි වෙන්නෙ.

 

6. අවුල් මේකප් ඩයල් එකක්
Source – aminoapps.com

ඔන්න පුතෝ මේකත් වැදගත්. ඒ තමයි හොඳටම අවුල් විදියට මේකප් කරන ‍ඩයල් එකක්. ඇහැ වටේට මේකප් දැම්මම ‍තොලුත් කළු වෙන ඩයල් එකක් තමයි මෙහෙම වැඩකදි හොයාගන්න ඕන. එතකොට ලොවෙත් සාර්ථක වෙන්න පුළුවන්. ඇයි ඉතින් බය හිතෙන්න තියෙන්න එපැයි. හැබැයි ඉතිං අපි මුලින් කිවුවා වගේ හරි හමං කැත ඩයල් ටිකක් හොයාගත්තනං මෙයාගෙ වැඩ හුඟාක් දුරට ලේසි වෙන බවත් අපි කියන්නම ඕන.

 

7. වැඩ බැරි VFX ඩයල් එකක්
Source – imgur.com

ඔන්න මේක වැදගත්. දැන් ඔය කොයි ෆිල්ම් එකෙත් ඇනිමේෂන් වැඩකිඩ යන කෑලි තියෙනවනෙ. ඒ කියන්නෙ මේ ඇත්තටම මේ ලෝකෙ සිද්ධ නොවෙන සීන්. ‍ VFX ඩයල් එකක් ඕන වෙන්නෙ ඒ වගේ අවස්ථාවකට. මොකද මේකෙදි ලොවෙත් මේ ලෝකෙ සිද්ධ නොවෙච්ච සීන් පේන්න ඕන. අන්න ඒකට මීට කලින් කවදාවත් VFX වැඩ කරලා නැති එකෙක් ගත්තොත් සාර්ථක මට්ටමකට ලඟා වෙන්න පුළුවන්.

Cover Image Source – wallpapersafari.com