ඔබේ ආරක්ෂාව ගැන වගකියන නිහඬ සාක්ෂිකරුවා “Dash Cams”

ටීවී එකේ ප්‍රවෘත්ති එහෙම බලනකොට වාහන අනතුරු එහෙම තවත් වාහනයක සිට පෙන්වන දසුන් ඔබ දැකලා ඇති. අන්න ඒ දර්ශන රූපගත කරලා තියෙන්නේ වාහන වල සවි කරපු ඩෑෂ්කැම්ස් (Dash Cams) වලින් තමයි. මූලිකවම ඩෑෂ්කැම් කියන වචනේ ඇතුලේම මේවා ස්ථානගත කරන්නේ කොහෙද කියලා දැනෙන හැඟවුම් පදයක් ඇතුලත්. ඒ කියන්නේ වාහනයක ඩෑෂ් බෝඩ් එකේ තමා මේ කැමරාව මූලිකවම ස්ථාන ගත කරන්නේ. ඒවාට අමතරව වාහනයේ ඉදිරි වීදුරුවේ සහ පසුපස බලන කණ්නාඩියෙත් මේ කැමරා ස්ථානගත කරන්නට පුළුවන් විදියේ තාක්ෂණයක් වර්තමාන වෙළඳපොලේ තිබෙනවා.

 

1. ඔක්කොම එක වගේ ද?
Source – digitaltrends.com

හැම ඩෑෂ්කැම් එකකම මූලිකවම සමාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ තමයි, මේ හැම ඩෑෂ්කැම් එකක්ම බලාත්මක වෙන්නේ වොට් 12 DC කරන්ට් එකකින්. ඒ වගේම සැමවිටම වාහනය පණගැන්වූවාට පස්සේ කැමරාව ක්‍රියාත්මක වී සිටීමට සැකසුම් කරන්නට හැකියාව තිබෙනවා. මේවාට අමතරව කැමරාවට අපි යොදන මෙමරි කාඩ්පතේ කැපෑසිටි එක අනුව පටිගත වෙන කාලය වෙනස් වෙන අතර, අදාළ කාලය නිමවීමෙන් පසුව එය මැකී නැවත අලුත් දත්ත පටිගත වෙන ලෙසටයි (Loop Recording) මේවා නිර්මාණය කර තිබෙන්නේ.

 

2. මේකට වෙනම ඩෑෂ්කැම් එකක්ම භාවිතා කරන්න ඕනෙද? වෙනත් කැමරාවක් භාවිතා කරන්න බැරිද?
Source – geekwire.com

මොකද බැරි. කැමරාවක් තිබෙන ඕනෑම ඩිවයිස් එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් ප්‍රායෝගික නැහැ. මේ කැමරාව නිතර වාහනයේ තිබෙන නිසාත් එය පෙරනිමියෙන්ම අදාළ උවමනා වෙනුවෙන්ම තනා ඇති නිසාත් ගොඩක් තාක්ෂණ විචාරකයින් අනුමත කරන්නේ ඩෑෂ්කැම් එකක්ම තමයි.

 

3. මේ ගැනත් හිතන්න
Source – nextbase.co.uk

මේ කැමරාව භාවිතා නොකරන වෙලාවටත් බලය සපයා කැමරාව ක්‍රියාත්මකව තිබෙනවා නම් බොහෝ අවස්ථා වල කැමරාව රත්වීම සහ කැමරාව සඳහා වාහනයේ බැටරියෙන් අමතර බලයක් ඇද ගැනීම වැනි දේවල් වෙන්නට ඇති හැකියාව ඉහලයි.

 

4. මේ කැමරා නීත්‍යානුකූලද?
Source – wheels24.co.za

ඩෑෂ් කැම්  සම්බන්ධයෙන් වෙන නීත්‍යානුකූල භාවය පිලිබඳ සමාජයේ ප්‍රශ්න තිබෙනවා. සමහර රටවල් වල මේවාට අවසර දී ඇති අතර තවත් සමහර රටවල් වලට ඩෑෂ් කැම්ස් වලට විවිධ නීති පවා පනවා තිබෙනවා. නමුත් සත්‍යය නම්, අපි යම් අනතුරකට මුහුණ දුන් පසුව අපේ නිවැරදි හෝ වැරදි බව ඔප්පු කරන්නට ඩෑෂ් කැම් එකකින් වෙන මෙහෙය සුළුපටු නොවන බවයි.

නමුත් කෙනෙකුගේ හෝ කණ්ඩායමක පෞද්ගලිකත්වයට හානි වෙන විදියට මේ ඩෑෂ් කැම්ස් භාවිතා කරන්නට නම් කොතැනින් වත් අයිතියක් නැහැ.

 

5. ඇත්තටම ඩෑෂ් කැම් එකකින් අපිට ප්‍රයෝජනයක් තියෙනවද?
Source – gizmodo.com.au

එකක් නෙවෙයි ගොඩක් තිබෙනවා. අපි හරියට තේරුම් අරගෙන එයින් ලැබෙන දර්ශන භාවිතා කලොත් අපිට නීතිමය වාසි පවා සමහර අවස්ථා වල ලබාගන්නට ඉඩ කඩ තිබෙනවා.

වාහන අනතුරකදී තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරන්නට සාක්ෂියක් ලෙස භාවිතා කරන්නට පුළුවන්.

ඔබේ වාහනයේ ගමනට බාධා කරමින් මාර්ගයේ මාර්ග නීති කඩකර ධාවනය වන වාහන සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නට සාක්ෂියක් ලෙස යොදාගන්නටත් මේ දර්ශන භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.

ඔබේ දරුවන්ට ඔබේ වාහනය ධාවනය කරවීමට ඉඩ ලබාදෙනවා නම් ඔවුන් ගැන සහ ඔවුන්ගේ වාහන ධාවනය ගැන අවබෝධයක් ලබාගන්නටත් මේ ඩෑෂ් කැම් දර්ශන වලින් පුළුවන්.

ඔබගේ විනෝද චාරිකාවම පටිගත කරන්නට හැකියාව තිබෙනවා. ඉන් පසුව එය එඩිට් කර බොහොම සුන්දර සිහිවටනයක් ලෙස මේ පහත තිබෙන ආකාරයේ වීඩියෝවක් සකසා ගන්නටත් පුළුවන්.

ඒ වගේම වාහනය නවත්වා තිබියදී ඔබේ වාහනයට යම් අනතුරක් වී පවතීනම් එවැනි වෙලාවක ඩෑෂ් කැම් එකක් ක්‍රියාත්මකව තිබීමෙන් බොහොම පහසුවෙන් සිදුවූයේ කුමක්දැයි දැනගන්නටත් හැකියාව ඔබට ලැබේවි.

 

6. මේවා කොහෙද මිලදී ගන්න තිබෙන්නේ?
Source – driving.co.uk

ලංකාවේ නම් වාහන වලට මියුසික් සිස්ටම්ස් සවි කරන Petco Lanka, Advance Car Audio වගේ තැන් වල මේ ඩෑෂ් කැම්ස් මිලදී ගන්න වගේම ඔබේ වාහනයට සවිකරගන්නත් හැකියාව තිබෙනවා. ඒ වගේම අන්තර්ජාලයෙන් ගෙන්වාගන්නවා නම් Amazon , Ebay , Ali Express වගේ වෙළඳ වෙබ් අඩවි වලින් ඔබට බොහොම අඩු මුදලකින් ගෙන්වා ගන්නටත් හැකියාව තිබෙනවා.

ඒ වගේම ලංකාවේ තිබෙන Takas.lk , Laabai.lk , Mystore.lk , Wow.lk වගේ වෙබ් අඩවි වලිනුත් ඔබට මේවා මිලදී ගන්නට හැකියාවක් තිබෙනවා. පහත තිබෙන්නේ ඉහත වෙබ් අඩවි 4න් මිලදී ගන්නට හැකි ඩෑෂ් කැමරා කිහිපයක විස්තරයි.

 

7. ලංකාවේ ගන්න තියෙන Dash Cams වර්ග 5ක් මෙන්න
Source – wow.lk
  • Transcend DrivePro 520

අංශක 180ක වපසරියක් ආවරණය වන මේ ඩෑෂ් කැම් එක GPS සහ Wi-Fi පහසුකම් පවා සහිතයි. මේ මගින් ඔබට එක මොහොතක්වත් අතහැර ගන්නේ නැතිව පටිගත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම පැකේජය සමග 32 GB මෙමරි කාඩ් පතක්ද ලැබෙනවා.

මිල – රු. 29,000 – 33,000 අතර

මිලදී ගත හැකි තැන් –  Wow.lk / Takas.lk / Mystore.lk   

 

  • Transcend DrivePro 200

1080P විභේදනයෙන් පටිගත කිරීමේ පහසුකම සහ සුපැහැදිලි දර්ශන ලබාදෙන CMOS සෙන්සරය සමග වීදුරුවට අලවා ස්ථානගත කිරීමේ හැකියාව මේ කැමරාවත් සතු වෙනවා. Android සහ Apple උපාංග සඳහා වන DrivePro APP පහසුකමද සහිත වන මෙය 16 GB මෙමරි කාඩ් පතකින් යුතු වෙනවා.  

මිල – රු. 17,950 – 20,655 අතර
මිලදී ගත හැකි තැන් – Chelsey.lk / Wow.lk

 

  • Transcend DrivePro 220

හදිසි පටිගත කිරීමේ පහසුකම සහ වීදුරුවට අලවා ස්ථානගත කිරීමේ හැකියාව වගේම Wi-Fi පහසුකම ද සහිත වන මෙය 16 GB මෙමරි කාඩ් පතකින් යුතු වෙනවා.

මිල – රු. 19,950 – 20,655 අතර
මිලදී ගත හැකි තැන් – Chelsey.lk / Takas.lk

 

  • Other Car Dash Cam

අඟල් 2.7ක LED තිරයකින් සමන්විත වන මෙය Motion Detection Recording, Emergency Lock Recording, Loop Recording පහසුකම්ද සහිත වන අතර මේ සඳහා ඔබ මෙමරි කාඩ් පතක් වෙනමම ලබාගත යුතු වෙනවා.

මිල – රු. 2450.00
මිලදී ගත හැකි තැන් – Daraz.lk

 

  • Car Dvr Dv-2 Full HD Blue/ Full HD Mini Car DVR

සිත් ඇදගන්නාසුළු මේ ඩෑෂ් කැම් මිලෙන් බොහොම අඩු වුනත් එයට පහසුවෙන්ම 1080P විභේදනයේ වීඩියෝ රෙකෝර්ඩ් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම වීදුරුවට සවි කල හැකි නිසා ඕනෑම අතකට හරවා වීඩියෝ වන්නට තබන්නට පුළුවන්කම තිබෙනවා.

මිල – රු. 4990 – 5500 අතර
මිලදී ගත හැකි තැන් – Wow.lk / Laabai.lk

 
 
Cover Image Source – techwalls.com