ඔබේ ශරීර සෞඛ්‍යය වැඩි දියුණු කරන සම්බාහන ක්‍රම 5ක් මෙන්න

කවුද අකමැති අපේ ඇඟ සම්බාහනය කරගන්න. සම්බාහනයක් කවදාවත් කරගෙන නැති කෙනෙක් ඒකෙ තියෙන සනීපය නොදන්න නිසා ඕනනං අකමැති වෙයි. නැත්තං හැමෝම කැමතියි. ඒ නිසාමයි සම්බාහනය කියන දේට දීර්ඝ ඉතිහාසෙකුත් තියෙන්නේ. මසාජ් එහෙමත් නැතිනම් සම්බාහනය ගැන තියෙන පුරාණතම සාක්කියක් තමයි ක්රිස්තු පුර්ව 2600 දී පමණ චීනයේ දී රචනා කරන ලදැයි සැලකෙන “The Yellow Emperor’s Classic Book of Internal Medicine.” පොත. මීට අමතරව ඊජිප්තුව, ඉන්දියාව වගේ රටවල් වලින් පවා සම්බාහනය ගැන විවිධ සාක්කි හමුව තිබෙනවා.

අද අපි කියන්න යන්නේ ඈත ඉතිහාසයක පටන් පැවතගෙන එන සම්බාහන ක්‍රම අතරින් මේ වෙද්දි ප්‍රසිද්ධම සම්බාහන ක්‍රම 5ක් ගැන විස්තරයි.

 

1. Sports Massage
Source – discovery.uk.com

මෙය නිර්මාණය වෙලා තියෙන්නේ ක්‍රීඩකයින්ට පිටියේදී වන ආබාධ වැලැක්වීම, නම්‍යශීලීතාවයන් වැඩි දියුණු කිරීම සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම අරමුණු කරගෙනයි. ඔබ ක්‍රීඩකයෙක් නොවුනත් මේ සම්බාහනය සඳහා යොමු වුණාට කිසිම වරදක් නැහැ. එය ඔබේ ක්‍රියාශීලීත්වය අනිවා වැඩි දියුණු කරාවි.

ක්‍රීඩකයින් සඳහා වන සම්බාහනයේ මූලිකම අරමුණ වෙන්නේ සිරුරේ පටක වල ශක්තිය නැවත ලබාදීමයි. විවිධ මාංශපේශී කොටස් සඳහා වෙන වෙනම සම්බාහනයන් පවතින අතර එය විටෙක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවටත් වෙනස් වෙන බව කියවෙනවා.

 

2. Thai Massage
Source – thaivisa.com

යෝගා සහ නම්‍යශීලී ක්‍රියාකාරකම් වල එකතුවක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන් මේ සම්බාහන ක්‍රමය අනෙකුත් සම්බාහන ක්‍රම වලට වඩා ඔබව සන්සුන් කරන බව කියන්නට පුළුවන්. විටෙක එය යෝගා ව්‍යායාම වැනි වුවත් ඒ අයුරින් ක්‍රියා කිරීම් වලින් තොරයි. නමුත් ඔබේ සම්බාහන ශිල්පියා ඔබව යෝග ව්‍යායාම වලදී මෙන් විවිධ ඉරියව් වලට යොමු කරවනවා.

තායි සම්බාහනය ඔබේ සිරුරේ ශක්තිය වඩවන බව කියන්නටම අවශ්‍යයි. ශියත්සු (Shiatsu)සම්බාහනයෙදී මෙන් සම්බාහන ශිල්පියා ඔබේ සිරුරේ පවතින රිද්මය හරහා ඔබේ ආතතිය සහ මහන්සිය අඩු කර ඔබව සන්සුන් කරවනවා.

කොන්දේ අපහසුතා, මාංශපේශි වල රිදීම් සහ ඉරුවාරද රෝගී තත්ත්වයන්ට පවා පිළියමක් ලෙස මේ සම්බාහනය යොදාගන්නට පුළුවන් කම තිබෙනවා.

 

3. Hot Stone Massage
Source – groupon.com

මෙහෙම නම කිව්වම ඔබට ඔලුවට එන්න ඕනේ මේ කියන්නේ මොනවා ගැනද කියලා. සම්බාහන ක්‍රමයේ ගුණාගුණ කියන්න කලින් මෙය වෙන විදිය ගැන කියන්නම්. ඔබව සම්බාහනය කරන්නා රත් කරන ලද මෘදු මතුපිටැති ගල් ඔබේ ශරීරයේ තෝරාගත් විශේෂිත ස්ථාන මත තබනවා. ඉන් පසුව ඔබේ සිරුර සම්බාහනය කරන්නට පටන් ගන්නවා. නමුත් සම්බාහනය අතරතුර දී ඉහත කියූ ගල් ඉවත් කරවන්නේ නැහැ.

රත් කරන ලද ගල් තබමින් කරන මෙම සම්බාහනය මගින් ශරීරයේ තදවූ මාංශ පේශි ලිහිල් කරන බවත් මාංශ පේශි වල කැක්කුම් සුව කරන බවත් පැවසෙනවා.

ඔබට රුධිර පීඩනය, දියවැඩියාව, හදවත් ආබාධ හෝ නහර ගැට ගැසීම් තිබුණහොත් සමහර විට ඔබේ වෛද්‍යවරයා විසින් ඔබට මේ ප්‍රතිකාරය නියම කරන්නට ඉඩ තිබෙනවා. ඒ හැරෙන්නට හිතුමතේ ඔබට කැමති පරිදි මේ සම්බාහන ක්‍රම පිළිපැදීම නම් අපි අනුමත කරන්නේ නැහැ.

 

4. Shiatsu Massage
Source – shambalaspa.com.br

අපි ශියත්සු ගැන පුංචිම පුංචි කොටසක් තායි සම්බාහනය කොටසින් කිව්වා. ශියත්සු කියන්නේ “ඇඟිලි වලින් ලබාදෙන පීඩනයටයි “. මේ පීඩනය ලබාදීම දෑත් සහ වැලමිටි වලින් සිදු කරන අතර ශරීරයේ එක තැනකට පීඩනය ලබාදීම තත්පර  2 සිට 8 අතර කාල පරාසයක සිදු කරනු ලබනවා.

චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේදයන් වලට අනුව සිදු කරන මේ සම්බාහනය මගින් සිරුර පුරා ශක්තිය ගලායාමට සහ සිරුරේ නිසි සමබරතාවය නියමාකාරයෙන් පවත්වාගැනීමට උදවු වන බව පැවසෙනවා.

ඒ වගේම ආතරයිටීස්, නින්ද නොයෑම, කොන්ද සහ පිට ආශ්‍රිත වේදනා සමනය කිරීමට මේ සම්බාහනය සිදු කරනු ලබනවා.

 

5. Aromatherapy Massage
Source – wowcher.co.uk

සුවඳවත් ඖෂධීය තෙල් භාවිත කරමින් කරනු ලබන සම්බාහන ක්‍රමයක් තමයි ඇරෝමා තෙරපි සම්බාහනය කියන්නේ. සුවඳ ආඝ්‍රාහනය කරවීමෙන් මනස තැන්පත් කරවනු ලබන අතරම තෙල් වල ඇති ඖෂධීය ගුණාංග වලින් සිරුර සන්සුන් කරවීම මෙයින් කෙරෙන බව පැවසෙනවා. මෙම ආඝ්‍රාහනය කරවීමෙන් නින්ද නොයෑම, හිසරදය, කැක්කුම් වැනි ආබාධ වලට සහනය ලබාදෙනවා.

Cover Image Source – westwoodmassage.co.uk