අනිවා කාලසංචාරකයාත් එක්ක සැප්තැම්බර් 14 වෙනිදා කොළඹ වටේ රවුමක් යමුද?

අනිවා අපේ ටීම් එකේ ඉන්නවා කාල සංචාරය කරන්න පුලුවන් හාදයෙක්. මිනිහට ඔය කාලතරණ මැසිමක් එහෙම නං නෑ, ඒත් මනුස්සයා නියම එච්.ජී.වේල්ස් ටයිප් එකේ කාල සංචාරකයා. කෙලින්ම චිත්ත බලෙන් තමයි කාලෙ හරහා යන්නේ. හැබැයි ඉතින් පොර අනාගතේට ගිහින් ඔය ලාබ ප්‍රයෝජන ගන්නවා වගේ, ලොත‍රැයි අංක හොරකං කරනවා වගේ අප්සට් වැඩ කරන්නෙ නෑ. ඔය අනාගතේට ගිහින් තමන්ගෙ පාඩුවෙ රවුමක් ගහලා එන එක තමයි මිනිහගේ ලොකුම ෆන් එක. ඉතින් මනුස්සයාගේ ඔය අනාගත කාල කොළඹ සංචාරයක් ගැන මිනිහටම ලියන්න දෙන්න කියලා අපි හිතුවා. එතකොට නිවාඩුවක් දාලා ඇවිදින්න යන්න වෙලාව තියෙන අනිවා ෆ්‍රෙන්තෙක්ට පුලුවන්නේ පොරගෙ අනාගත සංචාර මැප් එක බලල ඕන නම් තමන්ට ‍ටුවර් එකක් දාගන්න.

එහෙනම් මෙතන ඉඳන් අනිවා කාලසංචාරක හාදයගේ දිනපොතෙන් දවසක්.

 

1. අද සැප්තැම්බර් 14 වෙනිදා
Source – menshealth.com

පාන්දරම නැගිටලා එළියට බහිනකොට බොහොම සෞම්‍ය උදෑසනක් පේන්න තියෙන්නේ. රෑ පොඩි පොදයක් ගිහින් තිබුණු නිසා අවට පරිසරයත් නැවුම් සුවඳයි. කොළඹ රවුමක් ගහන්න කියාපු දවස. හැමෝම තකහනියේ ඔ‍ෆිස් යන්න කොළඹ දුවන උදැහැනැක්කේ කම්මැලිකමට තේ කෝප්පයක් බිබී ඔහේ එළිය බලාගෙන ඉන්න එක, ඉන් පස්සේ අනික් හැමෝම ඔ‍ෆිස් වල වැඩ පටන් ගන්න වෙලාවට ඒ කියන්නේ උදේ නවයට විතර කොළඹ යන්න එළියට බහින එක, අද මම වැඩට යන්නෙ නෑනේ කියලා හිතන එක තරම් ආතල් එකක් තවත් නෑ!

 

2. පිටකො‍ටුවෙන් බැහැලා පයින්ම
Source – commons.wikimedia.org

මම පිටකො‍ටුවේ කෙසෙල්වත්ත ප්‍රධාන බස් නැවතුමෙන් බැහැලා බේරේ වැවත් එක්ක තියෙන ෆ්ලෝටින් මාකට් එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියේ, වෙනදට හදිසියේ ඔ‍ෆිස් එකේ රතු ඉර ගහන්න කලින් දුවන අපිට එහෙම නැවතිල්ලක් තිබිලා නැති හින්දාමයි. අපි බස් එකකින් තව බස් එකකට මාරු වෙවී යනවා මිසක් කොළොම්පුරේ ශ්‍රියා බලන්නෙ නෑනේ. හැබැයි ෆ්ලෝටින් මාකට් එකේ ඉස්සර පටන් ගත්තු කාලේ වගේ බලන්න ලොකු දෙයක් නෑ. ඒ නිසා මම හෙමිහිට එතනින් කො‍ටුව පැත්තට පයින්ම ඇවිදගෙන ගියා.

පිටකො‍ටුවට ගියේ එකම හේතුවකට. මට සෑහෙන කාලෙක ඉඳන් අර තීන්ත පුරෝලා ලියන්න පුලුවන් එලකිරි වගේ පාකර් පෑනක් ගන්න වුවමනාව තිබුණා. හැබැයි ජෙනුයින් පාකර් පෑනකට දාස් ගණන් වියදං කරන්න මට බෑනේ. ඒ නිසා ඊලඟ ඔප්ෂන් එක තමයි පිටකො‍ටුව. හරියටම කිව්වොත් මැලිබන් පාර. ඉතින් මම පාර පැනලා පයින්ම ගියේ පාකර් හීනේ හැබෑ කරගන්න හිතාගෙන තමයි.

 

3. කො‍ටුවේ හරස් වීථි දිගේ
Source – commons.wikimedia.org

කො‍ටුවේ හරස් වීථි වල ඇවිදිනවා කියන්නේ ඉතින් නැති වුවමනාවල් මතුවෙනවා. එක එක කඩවල තියෙන හැම බඩුවක්ම ගෙදරට ඕන ඒවා කියලා හිතෙනවා. හැබැයි අද දවසම ඇවිදිල්ලක් තියෙන නිසා මම හිත තදකරගෙන ගියා මැලිබන් ස්ට්‍රීට් එකට. ගිහින් ඒකේ තියෙන ලිපිද්‍රව්‍ය කඩවල පාකර් පෑන් තියෙනවද කියලා බල බල, තියෙන එව්වල ගණන් බල බල ගියා. අන්තිමට සුද්දගේ කාලේ හදපු පරණ බිල්ඩිමක තිබුණු කඩේක ලියන මහත්තයා කොහෙදෝ අට්ටියක් අවුස්සලා ගෙනත් දුන්නා කිරි කිරි වගේ දිලිසෙන පෙට්ටියක දාලා තිබුණු පාකර් පෑනක්! මේක ජෙනුයින් නෙවෙයි කියන්න බැරි තමයි. පෑන අතට ගත්තහම තමයි තේරුණේ මේක කොයි තරම් බර පෑනක්ද කියලා. හැබැයි සුපිරියට ලියවෙනවා. ඔන්න ඉතින් සල්ලි දීලා පෑනත් අරගෙන මම මහපාරට ගියේ 103 ක නැගලා මරදානට යන්න.

 

4. මරදානේ පොත් කඩවල් අතරේ
Source – google.lk/maps

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගන්නේ හෙට. හැබැයි පෙනුමට බුක් ෆෙයා යන්නෙ නැති මනුස්සයෙක්ට මේ මාසේ ඔය පොත් කඩ පැත්තේ කරක් ගහන එක සෑහෙන්න වටිනවා. මොකද සීයෙට විස්සේ ඩිස්කවුන්ට් දෙන්නේ අලුත් පොත් වලට වුනත්, පරණ පොත් වලට සීයෙට අසූවේ ඩිස්කවුන්ට් පවා හම්බුවෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොඳ පොත් හොයන හාදයෙක් ඔය කොහේ යන්නත් කලින් යන්නේ මරදානට තමයි.

මරදානේ සමයවර්ධන, සූරිය, දයාවංශ, ගොඩගේ විදියට පිළිවෙලට මුණගැහෙන පොත් කඩවල් ඔක්කොම තියෙන්නේ පයින් ඇවිදගෙන යන්න පුලුවන් සීමාවේ. ඔය පොත් කඩවල සැරිසරලා පොත් අරගෙන මල්ල පුරෝගෙන තව පොත් කඩේකට යනකොට තිබහක් එහෙම ආවොත්, ඒකට ගොඩවදින්න පුලුවන් සරුවත් කඩ එහෙමත් ඔය අතරේ ඕනෑ තරමට තියෙනවා.

ඉතින් මංතුමාත් දෙයියනේ කියලා ඕන කරන පොත් මල්ලක් පිරෙන්න අරගෙන, කස ඇට දාලා උඩට අයිස්ක්‍රීම් දාපු සරුවත් එකකුත් ගහලා තමයි ආයෙමත් පාරට බැස්සේ.

 

5. අතීත සිහිවටන මැද්දේ
Source – commons.wikimedia.org

මරදානෙන් කෙලින්ම ත්‍රීවිල් එකක් අරගෙන මියුසියම් එක පැත්තට යන්න ගියත්, පබ්ලික් ලයිබ්‍රිය හරියේදී හිතුණා එතනින් බැහැලා පයින් යන්න. ආයෙ ඉතින් කොළඹ මහජන පුස්තකාලේ කිව්වහම කොයි තරම් නං සිහිවටන තියේද? පුස්තකාලේ කැන්ටිමේ පු‍ටුවලට, පැත්තේ ගස් යට තියෙන බංකු වලට, ස්ටඩි එකේ මේස වලට එහෙම කතා කරන්න පුලුවන් නං කියයි ඒ කාලේ අපේ කතන්දර, ලව් පලහිලව් ඔක්කොම.

එතනින් අර විසාල ගස් අයිනෙන් ටෙනිස් කෝට් එක පහුකරගෙන හෙමිහෙමිහිට ගියා කෞතුකාගාරෙට. ඇයි එකපාරටම කොළඹ ජාතික කෞතුකාගාරෙට යන්න හිතුණේ? එක පාරටම නෙවෙයි. ඔය පාසල් අධ්‍යාපන චාරිකාවලදී ගියා වගේ නෙවෙයි, රට ජාතිය ගැන වචනයක් හරි කියන ඕනම මනුස්සයෙක් තේරෙන වයසකදී ජාතික කෞතුකාගාරෙට ගොඩවැදිලා බලන්න වටිනවා. අද ඉස්කෝලේ ළමයින්ව එහෙම එක්කගෙන ඇවිදින් නැති නිසා මුළු කෞතුකාගාරෙම බොහොම නිස්කලංකයි. ඒ වගේම තමයි හිතේ හැටියට මෙතන තියෙන පුරාවස්තු, අතීත සිහිවටන, ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් දැකබලාගන්න, ඒවා ගැන සඳහන් කරලා තියෙන විස්තර කියවන්න ඉඩ තියෙනවා අද. ඇත්තටම පැය දෙකකට වැඩි කාලයක් කෞතුකාගාරේ ගත කරලා එළියට ආවේ දැනුම විතරක් නෙවෙයි, අපේ රට ගැන බොහොම ප්‍රෞඩ හැඟීමකිනුත් හිත පුරෝගෙන.

 

6. බඩගිනියෝ!
Source – tripadvisor.com

මෙච්චර වෙලාවක් කෞතුකාගාරේ ඇතුලේ ඇවිද ඇවිද ඉන්නකල් තිබුණේ නැති බඩගින්න එකපාරටම ආවේ එළියට බැස්සට පස්සේ. ලේසි නෑ වෙලාව තුනයි. වෙලාවේ හැටියට හොඳට දැනෙන්න දෙයක් කන්න ඕන. බිරියානි පාරක් දාන්න කියලා හිතලා කෙලින්ම එතන ඉඳන් ත්‍රීවීල් එකක් අරගෙන ගියේ සුල්තාන් පැලස් එකට. ඔව් ඉස්සර රහුමානියා එක තමයි. හැබැයි දැන් ඒකේ නම සුල්තාන් පැලස්. කොහොමහරි ගියපු ගමන් ඉඳගෙන ඕඩර් කලා සුල්තාන් පැලස් එකේ ෆේමස් බිරියානි එක. හැබැයි ඒක එනකල් විනාඩි විස්සක් ඉන්න අමාරු නිසා තව ස්වීට් ලැසී එකකුත් ඕඩර් කලා. ඊට පස්සේ ඉතින් ලෝක විනාසේ වගේ කෑමක් තමා.

කාලා බීලා බිලත් ගෙවලා එළියට බැස්සට පස්සේ මතක් වුනේ පොඩ්ඩක් එහාට ගිහින් ඔඩෙල් එකේ ෆුඩ් කෝට් එකට ගියානං තව මොනව හරි ඉනටර්නැෂනල් ලෙවල් එකේ කෑමක් කන්න තිබුණා කියලා. හැබැයි ඉතින් ඒ හිටපු බඩගින්දරේ හැටියට නිවෙන්න නං බත් පිඟානක්ම තමයි හරියන්නේ.

 

7. බය වෙන ‍ෆිල්ම් එකක් බලන්න ආවා බ්‍රෝ!
Source – tripadvisor.co.uk

ගෙදරින් ඉඳලම හිතාගෙන ආවේ කොළඹ ‍ටුවර් එක ඉවර කරන්න පිචර් එකක් බලලම තමයි යන්නෙ කියලා. මැජෙස්ටික් එක ලඟට ආයෙමත් පික් මී එකක නැඟලා යනකොට හරියටම හතරයි කාලට විනාඩි පහයි. ඒ පාර දඩිබිඩියේ ටික‍ටුත් අරගෙන ගිහින් වාඩි වුනා හොල්මන් පිචර් එකක් බලන්න. පිචර් එකේ නම “IT”. නෑ ඒ කිව්වේ ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි සීන් එකක් නෙවෙයි. ඊට වඩා සෑහෙන්න බය හිතෙන පුරාණ රාක්ෂයෙක් වගේ එකෙක් ගැන කතාවක්. පොරට වෙස් මාරු කරගන්න පුලුවන් එක තමයි හෙනම සීන් එක. මම ටිකක් බය වුනාට ඉස්සරහ සීට් එකේ හිටපු අක්කා බය වැඩිකමට ඊටත් ඉස්සරහා සිට් එක හපාගෙන තමයි මුළු පිචර් එකම බැලුවෙ!

 

8. ලැජ්ජ නැතුව යනව මෙවුං ගෝල්පීස් එකේ

Source – srilanka.for91days.com

ෆිල්ම් එකෙන් පස්සේ ඔෆීෂියලි කොළඹ කරක් ගහපු දවසේ ට්‍රිප් එක ඉවර වුනත් හෝ ගාන පොකුණ නොබලා ගෙදර යන්න හිතුනෙ නෑ කියහංකෝ. ඒ හින්දම බස් හෝල්ට් එකට ඇවිත් එල්ලුනා පානදුර කො‍ටුව බස් එකක. ගිහින් බැස්සා ගෝල් ෆේස් එක ගාවින්. තාමත් ට්‍රැ‍ෆික්. හැබැයි ගෝල්ෆේස් එක සෙනඟ පිරිලා. වැස්සොත් ඔක්කොම චකබ්ලාස් වෙයි කියලා හිතුණත්, වැස්සෙ නැති නිසා මම ගියා ගෝල්ෆේස් තාප්පේ අයිනටම. අමුවෙන්ම ඉර බහින අසිරිය විඳින්නත් මොකද්ද මොකද්ද වගේ නිසා ගත්තා ඉස්සෝ වඩේ තුනකුත්. හැබැයි ඉතින් සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා. ඉස්සො වඩේ තුන කෑවා මතකත් නෑ. ඒ හින්දම ගත්තා කකුළුවෝ දාපු තව ලොකු වඩේ තුනක්. ඒකත් අරගෙන කකා හෙමිහිට ගියා අලුතින් හදන පෝට් සිටි එක පැත්තට.

ගෝල්ෆේස් එකේ තනියෙන් ආවොත් ආතල් එක තියෙන්නේ එක්කෝ හවස ඉර බහින දිහා බලාගෙන ඉන්න එකේ. එහෙම නැත්නම් ඇවිත් ඉන්න නානාවිධ මිනිස්සු දිහා බලාගෙන ඉන්න එකේ. හැබැයි කැත හිතින් බලන්න එපා හරිද. කපල් එහෙමත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවී ඉන්නවා තමයි. ඒවත් ලස්සනයිනේ බ්‍රෝ. ගෝල්ෆේස් එක ලස්සන වෙන්නේ මේ හැම ජාතියෙම සහෝදර මිනිස්සු නිසා තමයි. ගෝල්ෆේස් එකට මේ හැම මනුස්සයාම එකයි. මේ හැම මනුස්සයෙක්ටම ගෝල්ෆේස් එකේ කරත්තෙකින් ගන්න ඉස්සො වඩේ එක රහයි.

 

9. ආපහු අතීතෙට
Source – panoramio.com, generations.org

මිනිස්සු කියනවනේ අරමුණක් නැතුව ඇවිදින එකේ ආතල් එකක් තියෙනවා කියලා. හැබැයි කොළඹ නගරේ දවසක් වෙන් කරගෙන ඇවිදින ෆන් එක ගන්න පොඩි සැලැස්මක් තියෙන්නත් ඕන. මොකද අඩු තරමින් තමන්ට යන්න ඕන කොහාටද කියලවත් හරි හැඟීමක් නැතුව ඇවිදින්න ගියොත් වෙන්නේ කාලේ නිකම්ම නාස්ති වෙන එක තමයි. හැබැයි අද වගේ වහින්නත් වගේ හැබැයි වැස්සත් නැති දවසක කොළොම්පුරේ එහෙ මෙහේ යන්න මගී ප්‍රවාහන සේවා පාවිච්චි කරන එක අපරාදේ. පයින් යන එක මාරම ගති මේ වගේ දවසක. එහෙම හිතාගෙන මම දවසක් ගත කරපු ෆන් එකෙන්ම ආයෙමත් අතීතෙට එර්දි වෙලා මේක ලියලා ඉවර කලා!

 
 
Cover Image Source – colombocityguide.com