අලුත්ම ‍රැල්ලක් වෙලා තියෙන කොරියන් සහ ජපන් පොප් මියුසික් වීඩියෝ (K-Pop, J-Pop) ගැන විස්තර මෙන්න!

කේ-පොප් නැත්තං ජේ-පොප් කිව්ව ගමන් නිකම් හිතෙන්නේ මිස්ටර් පොප් වගේ කෑමක් වගේ නේද? හැබැයි ඇත්තටම ඔය කියන්නේ කොරියන් සහ ජපන් පොප් සංගීතය ගැන තමයි. අර ජපානේ නැත්තං කොරියාවේ ඉස්කෝලේ ගෑල්ලමයින්ගේ යුනිෆෝම් එකේ සෙක්සි වර්ෂන් එක කියන්න පුලුවන් කො‍ටු කො‍ටු කොට ස්කර්ට් ඇඳලා නටන ගෑල්ලමයිනුයි, ගෑල්ලමයි වගේ කියුට් මූණු තියෙන සිංදු කියන කොල්ලොයි ඉන්න ජපන් පොප් සිංදු, කොරියන් පොප් සිංදු තියෙන මියුසික් වීඩියෝ ඕන කෙනෙක් දැකලා ඇතිනේ. මේකේ තියෙන ආතල්ම සීන් එක මේකයි. අර කොරියන් ටෙලිනාට්ටි වගේම සමහරු මේවලට පට්ට පලු යන්න බණිනවා. එතකොට තව සෙට් එකක් මේවලට පණ ඇරලා ලව්. ආයි ඔය කොරියන් හරි ජපන් හරි පොප් සීන් එකේ ඉන්න තරුවක් දැක්කොත් සිහි නැතිවෙලා වැටෙන ලෙවල් එකට ලව්. ඉතින් අපි කතා කරන්න යන්නේ ඇත්තටම මේ කොරියන් පොප් සහ ජපන් පොප් මියුසික් සීන් එක ගැන වැඩිදුර විස්තර ටිකක්. සමහර විට මේක කියෝලා බණින අයත් මේ මියුසික් වීඩියෝ වලට ලව් වුණොත් අපි වගකියන්නෙ නෑ ඕං!

 

1. හරියටම K-Pop, J-Pop ගැන කිව්වොත්
Source – youtube.com/2013 K-Pop Vs J-Pop

සරලවම කිව්වොත් ජපානේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන විශේෂයෙන්ම මියුසික් වීඩියෝ එක්ක බැඳුණු මොඩර්න් පොප් මියුසික් සීන් එක තමයි ජේ-පොප් කියලා හැඳින්වෙන්නේ. එතකොට දකුණු කොරියාවෙන් බිහිවුණු මේ විදියේම පොප් මියුසික් සීන් එක කේ-පොප් කියලා හැඳින්වෙනවා. හැබැයි මේක ඒ ඒ රටවල පොප් සංගීතයේ උප කොටසක්. මේ මියුසික් සීන් දෙකම අපිට ෆුල් වෙස්ටනයිස් වෙච්ච දකුණු කොරියාවක් සහ ජපානයක් තමයි පෙන්නන්නේ. හරියට ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වලින් පිටරට ඩයල් එකකට පේන සිරි ලංකාව වගේ. හැබැයි ඉතින් ඒවා බොරු හරි, මවා පෑම් හරි නෙවෙයි. ඇත්තටම ඔය රටවල නවීන කල්චර් වල, විශේෂයෙන්ම ඔය තරුණ කොටස් ආකර්ෂණය වෙන පොප් කල්චර් එකේ පැතිකඩක් තමයි ඔය කේ-පොප්, ජේ-පොප් මියුසික් වීඩියෝ වලින් අල්ලන්නේ.

 

2. K-Pop, J-Pop දෙකේ සමානකම මොකක්ද?
Source – medium.com

මේ කොරියන් වගේම ජපන් පොප් මියුසික් සීන් සලකලා බලනකොට සමානකම් සෑහෙන්න දකින්න පුලුවන්. සමහර වෙලාවට භාෂාව හරියට දන්නෙ නැති කෙනෙක් කේ-පොප් සහ ජේ-පොප් පටලවාගන්නත් පුලුවන්.

මේ පොප් මියුසික් සීන් දෙක්ම ඔය තරුණ අයිඩ්ල් ගෘප් සංකල්පය දකින්න පුලුවන්. ඒ කියන්නේ අපි දකින සුපර් ස්ටාර්, ඇමරිකන් අයිඩ්ල් වගේ සීන් වලින්, ටැලන්ට් ෂෝ වලින් නිර්මාණය කරන තරු පෞරුෂයන්. මේ අයිඩ්ල්ස් හදන්නේම තරුණ පරම්පරාවට අනුගමනය කරන්න තමයි. ඉතින් කේ-පොප් වගේම ජේ-පොප් සීන් එකේත් වැඩියෙන් දකින්න පුලුවන් ඔය විදියට නිර්මාණය කරපු තරු තමයි.

කේ-පොප්, ජේ-පොප් දෙකම කොරියාවේ, ජපානේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරේටම ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ දෙකම පදනම් වෙන්නේ ඔය අපි දකින සාම්ප්‍රදායික ජපන් සංගීතයෙන්, කොරියන් සංගීතයෙන් එහෙම නෙවෙයි. කෙලින්ම බටහිර රටවල පොප් සීන් එකෙන්. මේක උන්මාදයක් විදියට, කර්මාන්තයක් විදියට කොයි තරම් දුර ගිහිල්ලද කියනවා නම් අර කියුට් වෙන්න ප්ලාස්ටික් සැත්කම් කරගත්තු තරු කේ-පොප් වල වගේම ජේ-පොප් වලත් සෑහෙන්න දකින්න පුලුවන්.

ඒ ඇරෙන්න ඉතින් මේ පොප් සීන් දෙකේම පිස්සු කොර ඩාන්සින්ග් අයිටම් තියෙනවා කියන එක, සුපිරි ඩාන්සර්ස්ලා ඉන්නවා කියන එක, පිස්සු හැදිලා ආයෙ හැදෙන ග්ලැමර් විෂුවල් තියෙන මියුසික් වීඩියෝ තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

 

3. K-Pop, J-Pop දෙකේ බජට් වෙනස්කම්
Source – beyondapples.blogspot.com

ලෝකේ දෙවෙනියට විශාලතම සංගීත කර්මාන්තය තියෙන්නේ ජපානේ කිව්වොත් විස්වාස කරනවද? හැබැයි ඒක තමයි ඇත්ත. දළ වශයෙන් ජපානේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ මාකට් වැලියු එක ඩොලර් මිලියන තුන්දාහක් වගේ. ඒ නිසාම ජපානේ කට්ටියට ඉන්ටර්නැෂනල් එකට මියුසික් හදන්න ඕන නෑ. ඒ අයට ජපානේ ඇතුළෙම මාකට් එක තියෙනවා. එතකොට ජපානේ පොප් සීන් එකටත් එමම තමයිනේ.

හැබැයි දකුණු කොරියාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තාම අතදරුවෙක් වගේ, ජපානේ එක්ක සංසන්දනය කරනකොට. මාකට් වැලියු එක දළ වශයෙන් ඩොලර් මිලියන තුන්සිය පණහක් වගේ වෙන්නේ. හැබැයි ඒ නිසාම කේ-පොප් සීන් එකේ බෑන්ඩ් ට්‍රයි කරන්නේ ජපානේ මාකට් එකටත් පොඩ්ඩක් ඔලුව දාලා ඉන්ටර්නැෂනල් වෙන්න. එතනින් තමන්ගේ ජනප්‍රියත්වය හදාගන්න.

දැන් ඔය විස්තර ඔහොම වුනත් ජපානේ පොප් සිංදු මියුසික් වීඩියෝ වලට එනකොට වැඩිහරියක් ලෝ බජට් පිට තමයි කෙරෙන්නේ. හැබැයි වැඩිහරිය එහෙම වුනාට හිටපු ගමන් මතුවෙනවා පිස්සු හැදිලා ආයෙ හැදෙන ටයිප් එකේ එක්ස්ට්‍රීම් හයි බජට් තියෙන මියුසික් වීඩියෝ එහෙමත්. හැබැයි අනික් පැත්තට කොරියන් මියුසික් වීඩියෝ වලට සාමාන්‍යයෙන් හොඳ බජට් එකක් තියෙනවා. ඒ අතරේ එක්ස්ට්‍රීම් හයි බජට් වැඩත් එකක් දෙකක් තියෙන්න පුලුවන්.

 

4. J-Pop, K-Pop සීන් වල මියුසික් වීඩියෝ
Source – kpopkollective.com, soompi.com

අපි කලිනුත් කිව්වා වගේ මේ ජේ-පොප්, කේ-පොප් සිංදු හරිම වෙස්ටනයිස්. ඒවල ඉන්න සිංගර්ස්ලා, ඩාන්සර්ස්ලා, ඇක්ටර්ස්ලා එහෙමත්  අර ජපන් හරි කොරියානු හරි සම්භවය තියෙන ඒත් පට්ට වෙස්ටන් ඌරුවක් තියෙන කොල්ලො කෙල්ලෝ. විශේෂයෙන්ම මේ මියුසික් වීඩියෝ වල අර සීරියස් ලුක් තියෙන, හැඩි දැඩි කොල්ලෝ දකින්න නෑ. ඒ වෙනුවට කෙල්ලො වගේම ස්වීට්, කියුට් ලුක් තියෙන, කෙට්‍ටු කොල්ලෝ තමයි දකින්න පුලුවන්. එතකොට මේ වීඩියෝ වල ඉන්න ගෑල්ලමයි ඇන්දොත් අඳින්නෙම වියතක් වත් දිග නැති ගවුම් කෑලි, ස්කර්ට් කෑලි තමයි. ඒක අවුලක් නෑ, මොකද ඒ රටවල දැන් කිමෝනෝ ඇඳලා ඉන්න කෙල්ලෝ හොයන්න බැරි නිසා.

කොහොමත් කේ-පොප් සහ ජේ-පොප් දෙවර්ගෙම මියුසික් වීඩියෝ වල පේන්න තියෙන ප්‍රධානතම තේමාවක් තමයි පට්ට සෙක්සි වීම. ඒ කියන්නේ ඒවල ඉන්න කෙල්ලෝ විතරක් නෙවෙයි, මුළු සිංදුවත්, මියුසික් වීඩියෝ එකේ තීම් එකත් සෙක්සි. ඒවල ඉන්න කොල්ලොත් හෙනට සෙක්සි කියලා තමයි කේ-පොප්, ජේ-පොප් වලට ආස අපේ කෙල්ලෝ කියන්නේ.

කොහොමත් කේ පොප් වල සෙක්සි, ස්වීට්, කූල් තීම් තමයි ගොඩක්ම දකින්න තියෙන්නේ. හැබැයි ජේ-පොප් වල සෙක්සි, කූල්, කියුට් තීම් වලට අමතරව අමුතු, බය හිතෙන, මොළේ ඔල්මොරොන්දන් වෙන තීම් එහෙමත් යොදාගන්නවා දකින්න පුලුවන්. සමහර වෙලාවට ලංකාවේ ජේ-පොප් වලට වඩා කේ-පොප් වලට ඉල්ලුම තියෙන්න එක හේතුවක් වෙන්න පුලුවන් ඒක.

 

5. මෑතකාලේදී සෑහෙන්න ජනප්‍රිය වුණු J-Pop සිංදු
Source – metrolyrics.com

කේ පොප් සිංදු ටිකක් බලලා ජේ පොප් පැත්තට ආවොත් එහෙම හොඳට තේරෙන වෙනසක් තමයි ජපානේ පොප් සීන් එකේදී  කොරියන් සීන් එකට වඩා මියුසික් ෂානර වෙනස්කම් භාවිතා වෙනවා කියන එක. ඒ කියන්නේ රොක් එලිමන්ට්ස් පවා සෑහෙන්න පාවිච්චි වෙනවා වගේම එක්ස්පෙරිමන්ට් වැඩ එහෙමත් ගොඩක් දකින්න පුලුවන්.

 

  • මේ SEKAI NO OWARI බෑන්ඩ් එක රොක් ගෘප් එකක් විදියට ප්‍රසිද්ධ වුනාට මේ කට්ටිය පොප් මියුසික් වලටත් සෑහෙන්න දායකත්වයක් දෙනවා. මේ මියුසික් වීඩියෝ එක ඒකට එක උදාහරණයක්. මේක ලිස්ට් එකට දැම්මේ මේකේ තියෙන වෙනස් ගතිය නිසා.

 

  • AKB48 කියන්නේ අපි කියපු නියම විදියේ අයිඩ්ල් ගෘප් බෑන්ඩ් එකක්. මේ ගර්ල් බෑන්ඩ් එකට සාමාජිකයෝ 130 කට වඩා ඉන්නවා. මේ සිංදුවත් මෑතකදී  සෑහෙන්න හිට් වුණා. මේ නියම කියුට් සෙක්සි ටයිප් එකේ ජේ-පොප් මියුසික් වීඩියෝ එකක්.

 

  • මේ මියුසික් වීඩියෝ එක පටන් ගන්නකොටම සෙටප් එකයි, සිංදුවයි එක්ක I’m a Barbie girl සිංදුව මතක් වෙන්නෙ නැද්ද? මේකත් සුපර් හිට් එකක් වුණු සිංදුවක්, ජපානේ ජේ-පොප් ගායිකාවක් වගේම ෆැෂන් මොඩ්ල් කෙනෙක් වුණු Kiriko Takemura ගේ. එයාව හැබැයි ප්‍රසිද්ධ Kyary Pamyu Pamyu කියලා තමයි.

 

6. මෑතකාලේදී සෑහෙන්න ජනප්‍රිය වුණු K-Pop සිංදු
Source – inquisitr.com

ලංකාවෙත් ජනප්‍රිය වුණු කේ-පොප් සිංදු සමහරක් නම ඇහෙනකොටම නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි තවත් සමහර ඒවා දන්නේ කේ-පොප් ෆෑන්ස්ලා විතරයි. ඒ නිසා අපි කේ-පොප් ප්ලේ ලිස්ට් එකක් හැදුවා.

 

  • ගන්ග්නම් ස්ටයිල් ගැන නම් නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදියක් නෑ. ඒ තරමට පොරගේ ඩාන්ස් එක ෆේමස් වුනා. හැබැයි ගන්ග්නම් ස්ටයිල් වීඩියෝ එකේ පේනවට වඩා බොහොම සීරියස් කතාවක්, දකුණු කොරියානු පරිභෝජනවාදී ජීවන රටාවේ අඳුරු පැත්ත සියුම්ව පෙන්වා දීමක් තියෙනවා.

 

  • Twice කියන්නේ දකුණු කොරියාවේ ගර්ල් ගෘප් පොප් බෑන්ඩ් එකක්. මේ අයගේ මේ සිංදුව චාට් වල නම්බර් වන් වෙලා තිබුණා සෑහෙන කාලයක්. එතකොට සෑහෙන්න සම්මාන එහෙමත් හම්බුණු සිංදුවක්.

 

  • මේ සිංදුවත් අපි මෙච්චර වෙලා කිව්ව අර කියුට් කොල්ලෝ ඉන්න කියුට් මියුසික් වීඩියෝ වලින් පොඩ්ඩක් වෙනස් වුණු, උද්වේගය ගෙන එන විදියේ මියුසික් වීඩියෝ එකක්. මේක කරන්නේ BTS කියලා හැඳින්වෙන දකුණු කොරියානු බෝයි බෑන්ඩ් එක තමයි.

 

7. මේ K-Pop, J-Pop පොප් ‍රැල්ල වෙනුවෙන් ෆෑන්ස්ලා මැරෙන්න හදන්නේ ඇයි?
Source – theverge.com

හේතුව එක පැත්තකින් සරලයි වගේම සංකීර්ණයි. හැබැයි අපි ජාත්‍යන්තරේට නොගිහින් ලංකාවේ මෙච්චර ජැපනීස් පොප් වලට සහ කොරියන් පොප් වලට ෆෑන්ස්ලා ඉන්නේ කියලා හොයලා බැලුවොත් කියන්න තියෙන්නේ ඒක අලුත් ටේස්ට් එකක් හින්දා කියන එක තමයි. ඒක මිනිස්සුන්ට අල්ලලා යනවා. දැන් ඔය හැදෙන නව ‍රැල්ලේ මියුසික් වීඩියෝ කටේ තියන්න බෑ කියලා සමහරු බැන්නත් තව සෑහෙන කොටසක් ඒවා බලනවනේ. අන්න ඒ වගේ තමයි. හැබැයි ජේ-පොප් සහ කේ-පොප් වල තියෙන ග්ලැමර් එක ලංකාවේ ගොඩක් දෙනෙක් මේවලට ආස වෙන්න හේතුවක් කියන එක හරි. ඒ කියන්නේ ඒවල පෙන්නන වෙස්ටනයිස් ලෝකේ තාම ලංකාවේ මියුසික් වීඩියෝ වලින් අල්ලලා නෑ. අනික ඉතින් අපිට ඔය කේ-පොප් වල ඉන්න කොල්ලෝ මෙලෝ රහක් නැති ස්වීට් කම උතුරන කෙල්ලො වගේ හුරතල් ජාතියක් කියලා හිතුවට අමතක කරන්න එපා පුතාලා, අනූව කාලේ ඔය ඇමරිකන් බෝයි බෑන්ඩ් වල හිටපු සුකිරි බටිති කොල්ලන්ටත් අපේ කෙල්ලෝ වහ වැටිල හිටියා.

ඒ හින්දා අන්තිමට කියන්න තියෙන්නේ මේකයි. ජේ-පොප් හරි කේ-පොප් හරි මෙලෝ රහක් නැහැයි කියන්න කලින් ඔය වීඩියෝ එකක් දෙකක් බලලා හිටියට කමක් නෑ. ඉන් පස්සේ බැරියැයි විවේචනේ කරන්ඩ!

Cover Image Source – qz.com