හනිමූන් යන්න ඉන්න ලව්බර්ඩ්ස්ලාට, ලංකාවේ සුන්දර හෝටල් 7ක්

කසාද බඳිනකොට හනිමූන් එක කියන්නෙම බඳින්නත් කලින් හොඳට හිතලා, සැලසුම් කරලා කරන්න ඕන වැඩක්. වෙන මොකක්වත් නිසා නෙවෙයි, ගොඩක් වෙලාවට දැන් කාලේ මනමාලයාටයි මනමාලිටයි එකට ආදරෙන් නිවාඩුවක් ගත කරන්න කියලා ලැබෙන්නේ හනිමූන් පීරියඩ් එක විතරක් නිසා! හරි, අපි කලිනුත් කියලා තියෙනවනේ ලංකාවේ වටේ හනිමූන් එකට යන්න තියෙන සුන්දර තැන් කීපයක් ගැන. දැන් කියන්න යන්නේ ලංකාව වටේ තියෙන ලොකුම හෝටල් ගැන හිතන්නේ නැතුව, තමන්ගේ හනිමූන් එක ගත කරන්න සුන්දර සහ ගැලපෙන තැන් ගැන හිතන කපල් වලට හරියටම හරියන හොටෙල්ස් කීපයක් ගැන.

 

1. Ulagalla Resort – Anuradhapura
Source – ugaescapes.com

හැමෝම සාමාන්‍යයෙන් හනිමූන් යන්න හොයන්නේ නුවර එළිය වගේ පැතිවල තියෙන හොටෙල්ස්නේ. හැබැයි රස්නේ අඩු කාලෙකදී අනුරාධපුරේ පැත්තේ හනිමූන් එකට යනවා නම් බොහොම නිස්කලංක අත්දැකීමක් ලබාගන්න පුලුවන්. ඒකට හරියනම සුඛෝපභෝගී සහ පරිසර හිතකාමී හෝටලයක් තමයි Ulagalla Resort කියන්නේ. මේක අක්කර පණස් අටක් තරම් විශාල භූමිභාගයක් ඇතුළේ තියෙන හෝටලයක්. ඒ වපසරිය ඇතුලේ දෙන්නෙක්ට ඇවිදින්න බලන්න බොහොම ලස්සන පරිසරයක් තියෙනවා වගේම පුරාණ ජලාශ දෙකක්, අස්වැද්දුණු කුඹුරු එහෙමත් මේ හෝටලයට මායිම් වෙලා තියෙන්නේ. මෙතන තියෙන Chalet කාමර අතිශයින්ම සුඛෝපභෝගීයි. ඒ හැම Chalet එකකටම ප්‍රයිවට් පූල් එකකුත් තියෙනවා. ඉතින් දෙන්නත් එක්ක බොහොම නිස්කලංක නිවාඩුවක් හනිමූන් එක වෙනුවෙන් දාගන්න ඕන නම් මෙතන හොඳ තැනක්.

දුරකථන – 011 2331322/ 011 2328832

තැන මෙතන –

 

2. Hotel Tri – Koggala
Source – trilanka.com

ගාල්ලට එහා තියෙන ලංකාවේ ලොකුම ස්වභාවික වැව වෙන කොග්ගල වැවේ ඉවුරේ තියෙන මේ හෝටලය ලක්ෂරි ඩිසයින් හොටෙල් එකක්. පරිසර හිතකාමී විදියට නිර්මාණය කරලා තියෙන මේ හෝටලය සොබා සුන්දරත්වය විඳින්න කැමති දෙන්නෙක්ට බොහොම සුන්දර අත්දැකීමක් ලබාදෙනවා කියන එක විශ්වාසයෙන් කියන්න පුලුවන්. කුරුඳු වගාවෙන් වැහුණු කඳු මුදුනක පිහිටලා තියෙන මේ හෝටලේ බොහොම සුඛෝපභෝගී කාමර, විලා එහෙම තියෙනවා. ලක්ෂරි විලා වල ප්‍රයිවට් පූල් පවා තියෙනවා. මේ හෝටලේ තියෙන පූල් එකක ගැට්ටට වෙලා බැලුවහම කෙලින්ම පේන්නේ කොග්ගල වැව. ඉතින් හනිමූන් කපල් එකකට නිදහසේ ඉන්න විතරක් නෙවෙයි, වැවේ ඔරු පදින්න වුනත්, මුහුදේ නාන්න වුනත් කිසිම අවුලක් නෑ.

දුරකථන – 077 7708177

තැන මෙතන –

 

3. Living Heritage – Koslanda
Source – koslanda.com

කන්ද උඩරට මහා වනගහනයක් මැද්දේ තියෙන කොස්ලන්ද හෝටලයත් සොබා සෞන්දර්යය විඳින්න ආස කරන හනිමූනර්ස්ලට තමයි ගැලපෙන්නේ. ඇත්තටම මේ හොටෙල් එකට එපිටින් තියෙන වන ගහනය හැඳින්වෙන්නේ දෙවියන්ගේ අඩවිය කියලා. ඒකට හේතුව තේරෙනවා මේ කුරුඳු සුවඳ තියෙන වනපෙතේ විනාඩි පහක් හිටියොත්. ඒ තරමටම ලස්සන පරිසරයක් මේක. සුඛෝපභෝගී හෝටලයක් වුනාට මේකේ කාමර එහෙම බොහොම චාම් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සමහර වෙලාවට සුපිරි සුවපහසුකම් තියෙන මැටි ගෙදරක ඉන්නවා වගේ ෆීලින්ග් එකකුත් එන්න පුලුවන්. ඒ  පෙනුම ගන්න මේ හොටෙල් එක නිර්මාණය කරපු අය බොහොම මහන්සි වෙලා තියෙනවා කියන එක පේනවා. ගෘහභාණ්ඩ එහෙමත් පරණ තාලෙට තියෙන්නේ. හැබැයි සැපපහසුකම් උපරිමයි.

දුරකථන – 0779 355785

තැන මෙතන –

 

4. Ceylon Tea Trails – Bogawantalawa
Source – resplendentceylon.com

හනිමූන් යන කපල් එකකට මේ වගේ රොමෑන්ටික් තැන් තව හොයාගන්න තියෙන්නේ බොහොම අතළොස්සයි කියලා කියන එක වැරදි නෑ. මේ සිලෝන් තේ වතු අධිරාජ්‍යය තිබුණු කාලෙට මොහොතකට ඔබව ගෙනියන චාරිකාවක්. උඩරට බොගවන්තලාව නිම්නයේ සුන්දර විල්තෙරක තියෙන මේ බූටීක් විලා ඇත්තටම පරණ ටී එස්ටේට් බංගලා නැවත සැකසීමක්. හැබැයි තේ වතු බංගලාවක තියෙන අර රොමෑන්ටික් ගතිය ඒ විදියටම තියෙනවා. ඒ කියන්නේ බට්ලර්ලගේ ඉඳන් සුවඳ හමන තේ වල ඉඳන් තේ වතු බංගලාවක හැදෙන කෑම බීම දක්වා. උදේට නැගිට්ටහම පේන්නේ ඈතට විහිදිලා ගියපු තේ වතු වලට එපිටින් මීදුමින් වැහුණු කඳු ශිඛරයන්. ඊට වඩා රොමෑන්ටික් පරිසරයක් තව තියෙනවද!

දුරකථන – 011 7745700

තැන මෙතන –

 

5. Chena Huts – Yala
Source – ugaescapes.com

ගොඩක් අය හනිමූන් එකට ගොඩක් සීතල පළාත් වලට යනවා වුනත්, සමහරු කියනවා ගාණට හොට් ක්ලයිමේට් එකක් තියෙන පැත්තකට හනිමූන් යන එකේ වෙනම එකක් තියෙනවා කියලා. ඒවා කොහොම වුනත් මේ හොටෙල් එකේත් වටපිටාවේත් සුන්දරත්වය නිසාම එකත් අපි අපේ ලිස්ට් එකට ඇතුළත් කරනවා. යාල කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ යාල වනෝද්‍යායනයේ. ඇත්තටම තිස්සමහාරාමය කිට්‍ටුව ලංකාවේ පැරණිතම සහ දෙවෙනියට විශාලතම වන රක්ෂිතයට යාබදව, ඒ වගේම ගල්පර ගහණ සුන්දර වෙරළ තීරයක පිහිටලා තියෙන්නේ මේ Chena Huts හෝටලය. මේ හොටෙල් එකේ තියෙන සුඛෝපභෝගීත්වයත්, ස්වභාව සුන්දරත්වය රස විඳින්න තියෙන හැකියාවත් එක්කම, හොටෙල් එකේ කට්ටිය හනිමූන් එන අයටම විශේෂයෙන් වෙන් කරලා තියෙන නවාතැන් සහ වෙනත් පහසුකම් හින්දා මේක කපල් එකකට බොහොම සුන්දර අත්දැකීමක් වෙයි. විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලිකත්වයත් ‍රැකෙන විදියට නිදහසේ කාලය ගත කරන්න, අවට සුන්දරත්වය බලන්න මෙතන නියම තැන.

දුරකථන – 047 2267100

තැන මෙතන –

 

6. Paradise Road Tintagel – Colombo
Source – paradiseroadhotels.com

නිකමටවත් හිතිලා තියෙනවද හැමදාම වැඩට යන කොළඹ හනිමූන් එකටත් කදිමයි කියලා? ඇත්තටම ලංකාවේ මනුස්සයෙක් නම් ඒ ගැන හිතලවත් නැතුව ඇති. ඒත් හිතන්න, Paradise Road Tintagel වගේ සුඛෝපභෝගී බූටික් හොටෙල් එකක නවතින්න පුලුවන්. මේ හෝටලය තියෙන්නේ කොළඹ කියලා නොහිතෙන තරම් නිස්කලංක පරිසරයක රොස්මීඩ් පෙදෙසේ තියෙන්නේ. පුද්ගලිකත්වයට ලැබෙන තැන උපරිමයි. සුඛෝපභෝගී බව සහ සැප පහසුකම් උපරිමයි. කරන්න තියෙන්නේ නිදහසේ දෙන්නත් එක්ක කාලය ගෙවන එක. ඕන නම් එළියට ගිහින් ‍ෆිල්ම් එකක් කාරිය බලලා, තව කොළඹ අපි සාමාන්‍යයෙන් නොදකින සුන්දර තැන් වල ඇවිදලා කරලා ආයෙමත් හොටෙල් එකට එන එක. විශේෂයෙන්ම යටත් විජිත කාලය සිහිපත් කරවන අපූරු ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමයන්ගෙන් නිමා වුණු මේ හොටෙල් එකත්, ඒ අය පිරිනමන සුවපහසුකම් එහෙමත් ගැන හිතනකොට හනිමූන් එකට ඇත්තටම මේක ආකර්ෂණීය අදහසක් කියලා හිතෙයි.

දුරකථන – 011 4602060 / 011 4602122

තැන මෙතන –

 

7. Rosyth Estate House – Kegalle
Source – rosyth.lk

කෑගල්ල කියන්නේ ලංකාවේ අගනුවරට කිට්‍ටු ප්‍රධාන නගර කොයිකක ඉඳලා බැලුවත් ඒ තරම් දුරක් නැති නගරයක්. හැබැයි කෙනෙක් තමන්ගේ හනිමූන් එකට කෑගල්ල තරම් ලඟින් හොටෙල් එකක් බුක් කරන්නේ නැති තරම්. ඒත් අපි කියන්නේ ඒක අපරාදේ කියලා. මොකද කෑගල්ල නගරයට එනකොටම දැනෙනවා දේශගුණයේ සෞම්‍ය පැත්තට වෙනස් වීම. පරිසරයත් සුන්දරයි. ඉතින් මේ වගේ බූටික් බංගලාවක් හනිමූන් එකට ‍තෝරගන්නවා කියන්නේ තමන්ගේ පුද්ගලිකත්වය ‍රැකෙනවා වගේම, දෙන්නට තමන්ගේ ලෝකෙක වෙන් වෙලා මධුසමය ගෙවන්නත් හොඳ අවස්ථාවක්. මේ බූටික් හෝටලය ඇත්තටම එක්දාස් නවසිය විසි ගණන් වල ඉඳන් තියෙන යටත් විජිත කාලේ තේවතු හිමියෙක්ගේ සුඛෝපභෝගී බංගලාවක්. දැන් ඒක ඒ පැරණි ගතිය එහෙමම තියෙන්න නවීන, සුඛෝපභෝගී බූටික් හෝටලයක් බවට පරිවර්තනය කරලා. ඒත් තාමත් අර කෑගල්ල පැත්තේ තේවතු වලින් එන සුවඳ පවා මෙතනට දැනෙන ගාණයි. අමතක කරන්න එපා. සරදියෙල් හිටියෙත් ඔය කිට්‍ටුව.

දුරකථන – 0352 051265

තැන මෙතන –

 
 
Cover Image Source – ugaescapes.com, paradiseroadhotels.com, ugaescapes.com, rosyth.lk, trilanka.com