ආමීර් ඛාන්, සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්… කවුද මෙතනින් සුපිරිතම ඛාන්?

අපි පොඩි කාලේ අපිට හිටපු ප්‍රියතම හින්දි නළුවෝ සෙට් එකක්ම ඉන්නවා. මෙතනින් මුලටම ඉන්නේ ආමීර්, සල්මාන් සහ ෂාරුක් කියන ඛාන් ත්‍රිත්වය. හැබැයි එතනින් එහාටත් ආක්ෂේ කුමාර්, අජේ දේව්ගන්, ජැකී ෂෙරොෆ්, සංජේ දත්, ගෝවින්දා, අනිල් කපූර් වගේ තව ලොට් එකක්ම ඉන්නවා. හැබැයි පස්සේ පස්සේ කොයි අළුත් නලුවෝ බී-ටවුමට ආවත් ඛාන් ත්‍රිත්වය තමන්ගේ ඉහළ තැන ආරක්ෂා කරගෙන හිටියා. එතනිනුත් බැලූ බැල්මට ඉහළම ජනප්‍රියත්වයක් සහ ඉහළම සාර්ථකත්වයක් ලබාගත්තේ ෂාරුක් ඛාන්. ඒ හින්දා තමයි ෂාරුක්ව අදටත් “බොලිවුඩ් බාද්ෂා” නැතිනම් “කින්ග් ඛාන්” වගේ නම් වලින් හඳුන්වන්නේ. හැබැයි එහෙම වුනාට තව සමහරු කියනවා වඩාත් සීරියස්, ආට් සිනමාව ගත්තහම ඉස්සරහින් ඉන්නේ ආමීර් ඛාන් කියලා. එතකොට තවත් කට්ටියක් කියනවා ඔය මොනදේ වුනත් ගෑල්ලමයි අතරේ තාමත් ජනප්‍රිය සල්මාන් ඛාන් කියලා. දැන් ඇත්තටම කවුද මේ තුන්දෙනාගෙන් ඉස්සරහින් ඉන්නේ? ආන්න ඒ ගැන පොඩි විපරමක් කරලා බලන්න තමයි මේ සූදානම.

 

1. පටන් ගත්තේ මෙහෙමයි බ්‍රෝ!
Source – biscoot.com, farnazfever.com, pinterest.com

ආමීර් ඛාන් ළමා නළුවෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. මුලින්ම Holi කියලා 1984 දී ‍ෆිල්ම් එකක චරිතෙකුත් කරලා තියෙනවා. හැබැයි ආමීර් ඛාන් කියන නළුවාව මිනිස්සුන්ට හරියටම අඳුනගන්න ලැබුණේ 1988 දී පෙන්නපු Qayamat Se Qayamat Tak කියන ‍ෆිල්ම් එකෙන් පස්සෙ තමයි.

සල්මාන් මුලින්ම රංගන ජීවිතේ පටන් ගත්තේ 1988 ‍Biwi Ho To Aisi ෆිල්ම් එකේ සපෝටින්ග් රෝල් එකකින්. හැබැයි ඊලඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1989 දී ආපු ‍Maine Pyar Kiya ෆිල්ම් එක තමයි ඇත්තටම සල්මාන්ට ප්‍රධාන චරිතයක් ලබාදුන්නේ සහ සල්මාන්ව බොලිවුඩ් මැප් එකේ ලකුණු කලේ.

ෂාරුක් ඛාන් 80 දශකයේ අග එක එක චරිත කළා ටෙලි සීරීස් වල. හැබැයි බොලිවුඩ් වල කරපු පළවෙනිම ‍ෆිල්ම් එක 1992 Deewana. ඒත් අපි හැමෝම ෂාරුක්ව නළුවෙක් කියලා හරියටම අඳුනගත්තේ 1993 Darr ‍ෆිල්ම් එකෙන්. මේකේ දුෂ්ටයාගේ චරිතය කරපු ෂාරුක් ගිටාර් එකත් ගගහ “ජාදූ තේරී නසර්” සිංදුව කියපු එක අපිට තාමත් අමතක නෑ!

 

2. මල් ගස් වටේ!
Source – pinterest.com, downyoutube.net, youtube.com/Salman goes mad

මේ නළුවෝ තුන් දෙනාම මුල් කාලේ සෑහෙන්න මල් ගස් වටේ දිව්වනේ. හැබැයි ෂාරුක් ඛාන්ට මුල්ම කාලේ පොඩ්ඩක් දුෂ්ට චරිත හම්බවෙන ගතියක් තිබුණා. Darr එකේ ස්ටෝකර් කෙනෙක්ගේ චරිතය කළා වගේම Baazigar එකේ නිර්දය පළිගන්නෙක්ගේ චරිතය ෂාරුක්ට හම්බෙන්නේ. තව Anjaam චිත්‍රපටියේත් ෂාරුක් සුදු චරිතයක් නෙවෙයි කරන්නේ. හැබැයි මේ වැඩිහරියක ෂාරුක්ගේ රංගනයට අවෝඩ්ස් ලැබුනා. හැබැයි මේ කාලෙදීම ෂාරුක් මල්ගස් වටේ දුවන පෙම්වතා වෙන්නත් පටන් ගත්තා. ගොඩක් දෙනෙක්ට මතක ඇති Kuch Kuch Hota Hai, Duplicate වගේ ‍ෆිල්ම් වල ෂාරුක්ගේ චරිත. හැබැයි ඒ කාලේදීම ෂාරුක්ව පොඩ්ඩක් තව උඩ තලයකට උස්සලා තිබ්බ Dil Se වගේ ‍ෆිල්ම් එහෙමත් හම්බුණා. විශේෂයෙන්ම Dil Se චිත්‍රපටියේ ෂාරුක් ත්‍රස්තවාදියෙක් එක්ක ප්‍රේමයෙන් වෙළෙන්නේ.

ආමීර්ට අනූව දශකයේදී මල් ගස් වටේ දුවන චරිතත් සෑහෙන්න ලැබුණත්, ඒක ඒ තරම් දැනෙන්නේ නැති වුනා බොහොම වෙනස් චරිතත් ඒ අතරම ලැබුණු නිසා. විශේෂයෙන්ම ත්‍රිලර්ස් වල ආමීර් බොහොම සාර්ථක වුනා කිව්වොත් හරි. Jawani Zindabad, Dil Hai Ke Manta Nahin, Jo Jeeta Wohi Sikandar, Hum Hain Rahi Pyar Ke , Raja Hindustani, Sarfarosh, Dil, Rangeela වගේ ‍ෆිල්ම් මේ අතරේ තියෙනවා. මේ චිත්‍රපටි හැම එකක්ම වගේ සාර්ථක වුනා විතරක් නෙවෙයි, විශේෂයෙන්ම දිල්, රන්ගීලා වගේ ‍ෆිල්ම් වලට වෙනම කල්ට් පවා හැදුණා.

ඇත්තටම මේ ඛාන්ලා තුන්දෙනාගෙන් වැඩියෙන්ම මල් ගස් වටේ දිව්වේ සල්මාන්ද කොහේද. මොකද Saajan, Hum Aapke Hain Koun, Khamoshi: The Musical, Judwaa, Jab Pyaar Kisise Hota Hai, Kuch Kuch Hota Hai, Biwi No.1, Hum Dil De Chuke Sanam වගේ ‍ෆිල්ම් පෝලිමක් මේ අසූව අග, අනූව සහ දෙදාහ කාලේ වෙනකොටත් ඇවිත් තිබුණා. මේ චිත්‍රපටි රොමෑන්ටික්, කොමඩි, ත්‍රිලර් වගේ වෙනස් වුනත්, සල්මාන්ට විවිධ චරිත මේ ‍ෆිල්ම් ඇතුළේ තිබුණත්, අර ආදරෙන් මත් වෙලා ඉන්න පෙම්වතා තමයි ඒ හැම එකකම සල්මාන්ගෙන් එලියට ආවේ.

 

3. තුන්දෙනාම සූරයෝ කාලේ
Source – catchnews.com

ඇත්තටම දෙදාහෙන් පස්සේ මේ වෙනකල් ගතවුණු අවුරුදු 17ක කාලය තමයි බොහොම නිශ්චිතවම ඛාන්ලා තුන්දෙනා යන පාරවල් තීරණය කළේ කිව්වොත් හරි. ඒ කියන්නේ ආමීර් ඛාන් වඩ වඩාත් සීරියස් සිනමාව පැත්තට යොමුවුනා. සල්මාන් ඛාන්ට මිශ්‍ර චරිත ලැබුණත්, ඒ වැඩි හරියක් කොමර්ෂල් සිනමා ලෙවල් එකේ ‍ෆිල්ම්. එතකොට ෂාරුක් ඛාන් ආට් ‍ෆිල්ම් කීපෙකුත් කරන ගමන් බ්ලොක්-බස්ටර් කොමර්ෂල් හිට්ස් වලට යොමුවුණා. ඇත්තටම ෂාරුක් ‍තෝරගත්තු චිත්‍රපටි බොහොම දැවැන්ත බජට් එක්ක, දැවැන්ත නම් එක්ක හැදුණු ඒවා. හැබැයි මේ ‍ෆිල්ම් ඔක්කොම බලනකොට වැඩිහරියක ෂාරුක්ට තියෙන්නේ බොහෝම හැඟීම්බර චරිත කරන්න. කොහොමත් අර ෂාරුක්ගේ ඇස් වලින් කරන ජිමික් ටිකයි, හිනාවයි එක්ක ෂාරුක් කියන්නේ එවර්ග්‍රීන් බොලිවුඩ් පෙම්වතා වුනා.

 

4. දෙදාහෙන් පස්සේ කාලේ
Source – businessofcinema.com

ආමිර් ඛාන් ගැන කතා කලොත් මේ කාලේ අපිට මතක හිටිනම චරිත කළේ ආමීර්. උදාහරණ විදියට ගත්තොත් 1998 දී ආමීර් රංගනයෙන් දායක වුණු සුපිරිතම ආට් හවුස් ‍ෆිල්ම් එකක් වුණු 1947: Earth. 2001 දී කරපු, ජාත්‍යන්තරේටත් ගියපු Lagaan චිත්‍රපටිය. එතකොට සායිෆ් සහ ආක්ෂේ ඛන්නා එක්ක රඟපාපු Dil Chahta Hai තාමත් අපේ කාලේ කල්ට් ක්ලැසික් එකක්. ඊට පස්සේ 2005 දී ආමීර්ගේ Mangal Pandey: The Rising රංගනය, 2008 දී රංගනය Gajini සහ 2006 දී Rang De Basanti රංගනයත් ලෝකේ පුරාම බොලිවුඩ් රසිකයින්ව පිස්සු වැට්‍ටුවා කියන එක වැරදි නෑ.

කොහොමත් 2000න් පස්සේ බොලිවුඩය තමන්ගේ ක්ලැසික් ‍ෆිල්ම් ප්ලොට් අතෑරලා අලුත් අලුත් පාරවල් හොයමින් වර්ධනය වෙන්න පටන් ගත්තු ගතියක් තිබුණනේ. ඉතින් සල්මාන්ට හම්බුණු Hum Tumhare Hain Sanam, Har Dil Jo Pyar Karega, Chori Chori Chupke Chupke, Salaam E Ishq, Partner, Tere Naam වගේ ‍ෆිල්ම් වල රොමෑන්ස් කොච්චර තිබුණත්, ප්ලොට් වල සෑහෙන්න වෙනස්කම් තිබුණු නිසා සල්මාන්ට පහළ බහින්න සිද්ධ වුනේ නෑ. අනික මේවායින් ගොඩක් බොක්ස් ඔ‍ෆිස් හිට්ස්.

ෂාරුක්ටත් දෙදාහ අවුරුද්ද බොහොම සුබ වුනා. මොකද ෂාරුක්ගේ Aśoka, Mohabbatein, Kabhi Khushi Kabhie Gham, Devdas, Kal Ho Naa Ho, Main Hoon Na‍, Swades, Paheli, Kabhi Alvida Naa Kehna, Chak De! India, Om Shanti Om, Rab Ne Bana Di Jodi වගේ ෆිල්ම් වැඩිහරියක් බොක්ස් ඔ‍ෆිස් හිට් වුනා විතරක් නෙවෙයි, රසිකයෝ පිස්සු වට්ටන ‍ෆිල්ම් බවටත් පත් වුනා. හැබැයි Phir Bhi Dil Hai Hindustani වගේ වැ‍ටුණු ‍ෆිල්ම්ස් එහෙමත් මෙතන තිබුණා. ෂාරුක් හිටපු මේ හැම ‍ෆිල්ම් එකකම ෂාරුක් පෙම්වතා චරිත කළේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් අපේ ප්‍රියතම චිත්‍රපටියක් වෙන චක් දේ ඉන්දියා චිත්‍රපටියේ ෂාරුක් බොහොම මතභේදාත්මක චරිතයක් කලා වුනත් ඒකේ රොමෑන්ස් තිබුණේම නැහැ. ඒකේ ෂාරුක් හිටියේ ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරු විදියට. හැබැයි මේ හැම චිත්‍රපටයකම තිබුණු එක පොදු දෙයක් දකින්න පුලුවන්. ඒ තමයි ෂාරුක්ගේ හැඟීම්බර රංගනයට මේ ‍ෆිල්ම් හැම එකක්ම නියමෙටම ගැලපීම. මේ ‍ෆිල්ම් වලින් සෑහෙන්න කොටසක් මිනිස්සුන්ට ඇඬෙන්න හදපු ‍ෆිල්ම්.

 

5. තව පාරවල් හොයාගෙන ආපු ඛාන්ලා
Source – ebuzztoday.com

මේ ඛාන්ලා තුන්දෙනාම දෙදාහ වෙනකොට තවදුරටත් රංගනයට විතරක් සීමා වෙන්නේ නැහැ කියලා තීරණය කරලා ඉවරයි. විශේෂයෙන්ම ආමීර් ඛාන් බොහොම සීරියස් විදියට චිත්‍රපටි අධ්‍යක්ෂණයට එන්න තීරණය කරනවා. එතකොට අනික් ඛාන්ලා චිත්‍රපටි නිෂ්පාදනයට, රියැලිටි ෂෝ නිවේදන කටයුතු වලට, සුබසාධන වැඩ වලට වගේ සෑහෙන්න පාරවල් වල යන්න පටන් ගත්තා. සල්මාන් ඛාන් නං දෙදාහට කලින් මිනිස්සු යටකරගෙන යාම, මුවෝ දඩයම් කිරීම වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලත් යෙදුණා.

ෂාරුක් ඛාන් ඩ්‍රීම්ස් අන්ලිමිටඩ් කියලා නිෂ්පාදන ආයතනයක් එක්ක ‍ෆිල්ම් නිෂ්පාදනයට සහාය වෙන්න පටන් ගත්තේ 1999 ඉඳලා. හැබැයි ඒක සාර්ථක වුනේ නැති නිසාම අන්තිමට වහලා දැම්මා. හැබැයි පස්සේ ෂාරුක් පටන් ගත්තා වයිෆ් එක්ක තමන්ගේම කොම්පැණියක්. ඒකේ නම රෙඩ් චිලී එන්ටර්ටේන්මන්ට්. මේක ටෙලිවිෂන් ප්‍රොඩක්ෂන්, විෂුවල් ඉෆෙක්ට්ස්, ඇඩ්වටයිසින් වගේම චිත්‍රපටි නිෂ්පාදනයත් ඇල්ලුවා. කොහොමත් Main Hoon Na, Paheli වගේ ‍ෆිල්ම් ගණනාවක්ම මේ කම්පැණියෙන් නිෂ්පාදනය කළා. ඊට අමතරව ෂාරුක් ඛාන් ස්ටේජ් එකටත් ගිහින් තියෙනවා. පසුබිම් ගායකයෙක් විදියටත් ඉඳලා හිටලා කටයුතු කරනවා.

සල්මාන් ඛාන් බොහෝම සීරියස් විදියට මිනිස්සු වෙනුවෙන් කරන සුබසාධන වැඩ තියෙනවා කියන එක හැමෝම දන්නවා. ඔහුගේ Being Human රාජ්‍ය නොවන සංවිධානය වෙන ගැන හැමෝම බොහොම ප්‍රසාදයෙන් කතා කරන්නේ. මීට අමතරව සල්මාන් SKBH Productions කියලා ප්‍රඩක්ෂන් හවුස් එකකුත් පටන් ගත්තා. ඒකෙන් හැදුණු හැමෝම දන්න ‍ෆිල්ම් එකක් තමයි Bajrangi Bhaijaan කියන්නේ.

ආමීර් ඛාන් තමයි චිත්‍රපටි අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට බොහොම සීරියස් විදියට ඇවිත් සීරියස් විදියට වැඩේ කරගෙන යන ඛාන්. ආමීර්ගේ Aamir Khan Productions බැනර් එක යටතේ හැදුණු පළවෙනි ‍ෆිල්ම් එක තමයි Lagaan. ඒක කොයි වගේ සාර්ථකත්වයක් ලබාගත්තද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔස්කාර් වලටත් නොමිනේට් වුනා. එතනින් පස්සේ සෑහෙන්න දෙනෙක්ගේ අවධානයට ලක්වුණු Taare Zameen Par, Dhobi Ghat, Jaane Tu… Ya Jaane Na, Delhi Belly වගේ ‍ෆිල්ම් ගණනාවක්ම ආමීර් ඛාන්ගේ නිෂ්පාදනයෙන් වගේම අධ්‍යක්ෂණයෙන් හැදෙනවා. විශේෂයෙන්ම මේ ‍ෆිල්ම් වල තියෙන බොහොම අපූරු තේමාවන් ගැන ගොඩක් දෙනෙක් ප්‍රශංසා කළා.

 

6. මේ කාලේ බොක්ස් ඔ‍ෆිස් හීරෝ ඛාන්
Source – movies.ndtv.com

අපි ෂාරුක්ගේ, සල්මාන්ගේ, ආමීර්ගේ මේ අතරමැද තියෙන ජනප්‍රිය වුණු චිත්‍රපටි අතෑරලා, මේ අවුරුදු කීපය ඇතුළත වැඩිම බොක්ස් ඔ‍ෆිස් සාර්ථකත්වයක් ලබාගත්තු ‍ෆිල්ම් දිහා බලමු. මෙතනදී ෂාරුක් ඛාන්ගේ 2015 Dilwale චිත්‍රපටිය දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 149 ක් ඉපයුවා. ඊට පස්සේ 2016 Fan චිත්‍රපටිය ඉන්දීය රුපියල් කෝටි 84 යි උපයලා තියෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ රිලීස් වුණු Raees චිත්‍රපටිය දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 128 ක් වගේ තමයි උපයලා තියෙන්නේ.

සල්මාන් ඛාන්ව ගත්තොත්, සල්මාන්ගේ 2015 Bajrangi Bhaijaan චිත්‍රපටිය ඉන්දීය රුපියල් කෝටි 319 ක් දළ වශයෙන් උපයලා තියෙනවා. එතකොට 2015 Prem Ratan Dhan Payo චිත්‍රපටිය උපයලා තියෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 208 ක්. 2016 අවුරුද්දේ ආපු Sultan චිත්‍රපටිය රුපියල් කෝටි 300 කට පොඩ්ඩක් වැඩියෙන් උපයලා තියෙනවා.

දැන් බලමු ආමීර් ඛාන්ගේ මෑතකාලීන ‍ෆිල්ම් දිහා. 2013 අවුරුද්දේ හිට් එක වුණු Dhoom 3 ‍ෆිල්ම් එකට පුලුවන් වුනා ඉන්දීය රුපියල් කෝටි 284 කට වැඩියෙන් උපයන්න. එතකොට ඊලඟට 2014 අවුරුද්දේ සුපර් හිට් වුණු PK චිත්‍රපටියේ බොක්ස් ඔ‍ෆිස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 339 ක්. 2016 අවුරුද්දේ අති සාර්ථක වුණු Dangal චිත්‍රපටියේ ආදායම ඉන්දිය රුපියල් කෝටි 385 ක්!

කෙටියෙන් කිව්වොත් ආමීර් ඛාන්ගේ සීරියස් ‍ෆිල්ම් වලට වගේම ත්‍රිලර් වලටත් සෑහෙන්න ඉහළ බොක්ස් ඔ‍ෆිස් ජයග්‍රහණයක් තියෙනවා කියලා පේන්න තියෙනවා!

 

ඉතින් ඇත්තටම කවුද මේ තුන්දෙනාගෙන් සුපර් ඛාන්? ආමීර් ඛාන්ද? සල්මාන් ඛාන්ද? එහෙමත් නැත්නම් ෂාරුක් ඛාන්ද? ඒ ගැන තීරණය කරන්න ඕන ඔයගොල්ලෝ මිසක් අපි නෙවෙයි. ඒ නිසා කමෙන්ට් එකක් දාලා අපිට කියන්න කවුද ඔයාලා හිතන විදියට සුපර්ම ඛාන් කියලා!

Cover Image Source – desimartini.com