සුන්දර බාලි දිවයිනේ සංචාරයක් අඩු මුදලකින් ප්ලෑන් කරගන්නේ මෙහෙමයි

ලෝකේ තියෙන සුන්දරම ගමනාන්තයක් වෙන බාලි දූපත අතීතයේ ඉඳලම ප්‍රසිද්ධ වෙලා තිබුණේ සොබාව සෞන්දර්යයට සහ සුන්දර ළඳුන්ට. ගොඩක් දුරට සංචාරකයෝ බාලි ‍තෝරාගන්න හේතුවත් මේ සොබාව සෞන්දර්යය තමයි. දැන් අපි කිව්වොත් බාලි දූපත් වල සංචාරයක් කරමු කියලා හිතෙන්නේ මොනවද? ආසයි ඒත් ඔය ගමන් වලට කුඩු කරන්න ලක්ස ගණන් සල්ලි නෑ කියල නේද? හැබැයි බාලි සංචාරයකට ලක්ස ගාණක් වියදම් වෙන්නේ නැතිනම්? ආන්න ඒ ගැන තමයි මේ කියන්නේ. මෙතනින් එහාට කියවලාම තීරණය කරමු බාලි ගිහින් එනවද නැද්ද කියලා.

 

1. බාලි ගැන විස්තර
Source – beunsettled.co

මුලින්ම බාලි ගැන විස්තර ටිකක් කිවුවොත්, බාලි දූපත කියන්නේ ඉන්දුනීසියාවේම කොටසක්. ප්‍රාන්තයක් කිව්වොත් හරි. ඒ වගේම දූපතක්නේ. විශාල ප්‍රධාන දූපතකින් සහ කුඩා අසල්වාසී දූපත් සමූහයකින් තමයි බාලි හැදිලා තියෙන්නේ. ලක්ෂ හතලිහකට වඩා ජීවත් වෙන බාලි දූපතේ ගොඩක්ම ඉන්නේ බාලි හින්දු අය තමයි. ඇත්තටම මේ අය මුස්ලිම් ඉන්දුනීසියාවේ සුළුතරය. ඊට අමතරව මුස්ලිම්, ක්‍රිස්තියානි සහ බෞද්ධ ජන කොටස් බාලි වල ඉන්නවා.

බාලි වල දකින්න තියෙන්නේ සොබාවික සුන්දරත්වයෙන් පිරුණු සුන්දර වනගහණයන්, දූපත්, වෙරළාසන්නයන් විතරක් නෙවෙයි. Tanah Lot දේවස්ථානය, Uluwatu දේවස්ථානය, Besakih දේවස්ථානය, Tegallalang වල පඩිපේළි වගේ තියෙන කෙත් වතු, Ubud වල වඳුරු පාරාදීසයක් වුණු වනාන්තරය, Ubud වලම ආට් මාකට් එක, Goa Gajah ගල්ලෙන් සංකීර්ණය එයින් කීපයක්. මීට අමතරව දකින්න වනාන්තර, නගින්න කඳු ඇතුළු තවත් බොහෝ සංචාරක ආකර්ෂණයන් බාලි වල තියෙනවා.

 

2. යන්නෙ කොහොමද?
Source – baliairport.net

බාලි වල තියෙන ප්‍රධානතම ගුවන්තො‍ටුපල තමයි ඩෙන්පසාර් (Ngurah Rai) ජාත්‍යන්තර ගුවන්තො‍ටුපල. ඕන නං ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිස්නස් ක්ලාස් වගේ යන්න පුලුවන්. හැබැයි ඉතින් බජට් එකට ට්‍රැවල් කරනකොට ඒ කෙලි බෑ. හොඳම වැඩේ තමයි පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ රිසර්ච් එකක් කරලා බලන එක ගණන් අඩුම එයාර්ලයින්ස් මොනවද කියලා. එහෙම නැතිනම් ටිකටින්ග් ඒජන්ට් කෙනෙක්ගෙන් අහලා බලන්න බාලි වලට ගණන් අඩු එයාර්ලයින්ස් මොනවද, ඒ වලත් ගණන් අඩු වෙන, ඩීල්ස් එහෙම සෙට් වෙන කාල මොනවද කියලා. සාමාන්‍යයෙන් ඔක්තෝබර් වගේ වෙනකොට බාලි වලට ලංකාවේ ඉඳන් රිටර්න් එයා ටිකට් එක පණස් පන්දාහකට වගේ බහිනවා.

තව මෙහෙමත් දෙයක් තියෙනවා. මැලේසියා හරි තායිලන්ඩ් හරි ඉඳලා බාලි යන්න සෑහෙන්න අඩු ගාණට ෆ්ලයිට් තියෙනවා. ආන්න ඒ නිසා ගණන් හදලා බලන්න ලංකාවේ ඉඳන් මැලේසියා හරි තායිලන්තේ හරි එයාපෝට් එකකට ගාණයි, එතන ඉඳන් බාලි වලට ගාණයි. කෙලින්ම ලංකාවේ ඉඳන් බාලි වලට යන ගාණට වඩා අඩු ගාණේ හත් අටදාහක්වත් ලාබ නං පොඩ්ඩක් මහන්සි වුනත් මොකෝ.


 

3. කොයි කාලෙටද බාලි වලට යන්න හොඳම?
Source – baligolive.com

මෙන්න මේක බොහොම කල්පනාවෙන් ‍තෝරගන්න ඕන. බාලි වල හයි සීසන් එක තමයි ජූලි, අගෝස්තු සහ දෙසැම්බර් ඉඳන් ජනවාරි පළවෙනි සතිය වෙනකල්. ඒ කාලෙට බාලි වල උත්සව අනං මනං ඔක්කොම තියෙනවා. හැබැයි බාලි හොඳටම බිසී වෙන්නෙත් ඒ කාලෙට තමයි. ‍ටුවරිස්ට්ලා වැහි වැහැලා. ගොඩක් වෙලාවට ඒ හින්දම ප්ලේන් ටිකට් එහෙමත් ගණන් යන්න පුලුවන්. ඒ නිසා අපි රෙකමන්ඩ් කරන්නේ බාලි වල හයි සීසන් එකට ටිකක් කලින් යන්න කියලා තමයි. ඒ කියන්නේ අප්‍රේල්, මැයි, ජූනි කාලවල. ඒ වගේම සැප්තැම්බර් වල.

 

4. ගිහින් නවතින්නේ කොහේද?
Source – bluekarmaresort.com

නවතින තැන් ගැන නම් පුතාලා දූලා බයවෙන්න කාරි නෑ. බාලි කියන්නේම සුපර් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඇකමඩේෂන් තියෙන දූපතක්. කොහොමත් දවසකට රුපියල් වලින් ගත්තොත් රුපියල් එක්දහස් පන්සීයේ, දෙදාහේ ඉඳලා වගේ උඩට නවාතැන් බාලි වල තියෙනවා. ඒ කියන්නේ දෙදාහට තුන්දාහට තියෙන්නේ අර පිටකො‍ටුවේ වගේ එක රූම් එක හතරට පහට පාටිෂන් කරපු කෑලි නෙවෙයි. බොහොම හොඳ, පිරිසිදු හෝටල් කාමර සහ ලොජ්. සමහර වෙලාවට පොඩ්ඩක් හොයලා බැලුවොත් තුන්දාහක් විතර වෙනකොට ප්‍රයිවට් විලා එකක් පවා ගන්න පුලුවන්. රුපියල් හාරපන්දාහක් වියදම් කරලා ඊටත් වඩා සුපිරියටම හොඳ තැනක නවතින්න පුලුවන්. ඇත්තම කිවුවොත් ලංකාවේ වත් ඒ ගණන් වලට හොඳ නවාතැනක් හොයාගන්න බැහැනේ. හැබැයි බාලි වල තියෙන ආතල් එක මේකයි. වැඩිහරියක් නවතින්න තියෙන හොටෙල් හරි ලොජ් හරි රුපියල් පන්දාහෙන් අඩු වුනාට, ඕන නං එක රෑකට රුපියල් ලක්ෂෙට එකහමාරටත් නවාතැන් ගන්න සුපිරි භෝටල් තියෙනවා.

ඕන නම් Couchsurfing හරි Airbnb හරි වගේ සේවාවකින් තවත් අඩුවට, බාලි පවුලක් එක්කම නවතින්න තැන් හොයාගන්නත් පුලුවන්. ඒක බාලි රටවැසියන්ව අඳුනගන්න හොඳ ක්‍රමයක්.

 

5. ගමන් බිමන්
Source – villa-bali.com

බාලි වලට ගිහින් එහා මෙහා යන්න පාවිච්චි කරන්න පුලුවන් ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය දෙකක් තියෙනවා. ඒකෙන් ගණන් වැඩිම එක තමයි ටැක්සි. ටැක්සියක් හයර් එකට අරගෙන බාලි වල රවුං ගහනවා කියන්නේ ටිකක් විකිණෙන වැඩක්. හැබැයි අතිදරුණු ගාණක් නෙවෙයි. අපි මේ කියන්නේ බාලි වල පොදු ප්‍රවාහන සේවා වලට සාපේක්ෂව. හොඳම වැඩේ තමයි ස්මාට්ෆෝන් එකක් සාක්කුවේ තියෙනවා නං GO-JEK නැත්නම් My Blue Bird වගේ ටැක්සි ඇප් එකක් ඉන්ස්ටෝල් කරගෙන ඒකෙන් ටැක්සියක් හයර් කරගන්න එක.

හැබැයි තමන්ටම මෝටර් බයිසිකලයක් එලවගෙන යන්න පුලුවන් නම්, ඒක තමයි ලේසිම සහ පහසුම වගේම ලාබයත් තියෙන ප්‍රවාහන මාධ්‍යය. දවසකටම ඕන නං රුපියල් හත්සීයක් අටසීයක් යයි රෙන්ට් එක. හැබැයි ඉතින් බාලි වල හතර අතේ වෙට්‍ටු දදා මෝටර්බයිසිකල් පදින්න නං බෑ ටවුන් වල.

 

6. කෑම බීම
Source – villa-bali.com

බාලි වල තියෙන කෑමබීම වලට ලංකාවේ අපි වගේම මාළු, මස්, එළවළු සහ විවිධ තුනපහ ද්‍රව්‍ය ඒ අය යොදාගන්නවා. හැබැයි ඉතින් චීන කෑම සහ ඉන්දියන් කෑම වලින් ආභාෂය ඇවිත් තියෙනවා කියලා පෙනුනට, බාලි වලට යන කෑම ලෝලියෙක්ට පිස්සු හැදෙන විදියේ රසවත් කෑම විවිධාංගීකරණයක් දකින්න පුලුවන්.

දැන් අපි බාලි ගිහින් හොඳ හෝටලේක නතරවෙලා නම් ඉන්නේ, හොඳම දේ තමයි හොටෙල් එකේ රෙස්‍ටුරන්ට් වල අ-ල-කාර්ටේ මෙනු එක පොඩ්ඩක් චෙක් කරලා බලන එක. කොහොමත් ඉතින් පිට කෑම බීම වලට වඩා හොටෙල් එකේ කෑම ගණන් වැඩියිනේ. හැබැයි ලංකාවේ සුපිරි හෝටලේක කෑම බීම තරම් ගණන් නැතිවෙන්න පුලුවන්. ඒ නිසා හදිසියේ වේලක් හරි හොටෙල් එකේ රෙස්‍ටුරන්ට් එකෙන් කන්න හිතනවා නම් ගණන් කලින් චෙක් කරලා ඉන්න එක ඇඟට ගුණයි. හැබැයි එතනින් එහාට පාරට බැස්සහම නං ලංකාවටත් වඩා අඩු ගාණකට බාලි වල කෑම බීම ගන්න පුලුවන් කියලා තමයි ඔය බාලි ගිහින් ආපු සංචාරක හාදයෝ කියන්නේ. ගොඩක් වෙලාවට ස්ට්‍රීට් ෆුඩ් එහෙම ගන්නවා නං බඩ පිරෙන කෑම වේලක් රුපියල් දෙසීයකටත් අඩුවෙන් ගන්න පුලුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට පිඟාන පුරවලා බත්, එළවළු සහ චිකන් වෙන්න පුලුවන්. ඒ වගේම තමයි බාලි වල තියෙන ඔය වෙස්ටර්න් ටයිප් එකේ රෙස්‍ටුරන්ට් එහෙමත් සෑහෙන්න ගාණ අඩුයි. ඒ රෙස්‍ටුරන්ට් වලින්ම කාලා දවස ගත කළත් දවසකට රුපියල් තුන්දාහක්වත් යන්නෙ නෑ. හැබැයි බාලි ලෝකල් පොට් වලින් කාලා දවස ගතකලොත් දවසකට රුපියල් හත්සීයකට අටසීයකට වඩා යන්නෙත් නෑ.

 

ඉතින් ඔන්න ඔහොම තමයි අපිත් එක්ක බාලි යන්න එනවනං බජට් එකට ‍ටුවර් එක ප්ලෑන් කෙරෙන්නේ. පේනවනේ සතියක් බාලි වල හිටියත්, ලාබෙට, පහසුවට ඉඳලා, රසට කෑම කාලා, තැන් තැන්වලට ගිහිල්ලා එන්න ගණන් ඔක්කොම එකතු කරලා බලනකොට රුපියල් හැත්තෑපන්දාහක් වගේ තමයි යන්නේ කියලා . තව ඉතින් ගේන්න අනං මනං සමරු එහෙම ගන්නත් ඕන නං, තව ෂොපින් පාරකුත් දාන්න ඕන නං රවුම් ගාණක් කියලා රුපියල් ලක්සයක් කියතෑකි. එක පාරක් බාලි ගිහින් සතියක් සුවපහසුවට ඉඳලා මොනවා හරි අරගෙන එන්නත් ඒ ගාණ ඉතාම වටිනවා!

Cover Image Source – vagabondtourandtravel.com