ක්‍රිකට් ගහද්දි අමුතු අමුතු දේවල් කරන්න පුරුදු වෙලා හිටපු ෆේමස් ක්‍රිකටර්ස්ලා 9ක්

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ නිසාම වාසනාව සහ අවාසනාව කියන වචන දෙකත් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ළඟින්ම බැඳිල තියෙන වචන දෙකක්. තමන් සපෝට් කරන කණ්ඩායමට වාසනාව ලැබෙන්න කියලා ගෙදර ඉඳන් මැච් බලන අය උනත් කරන අමුතු අමුතු වැඩ තියනවා. සමහරු විකට් එකක් යයි කියලා ඉඳන් ඉන්න පුටුවෙන් නැගිටින්නේ නෑ. තවත් සමහරුන්ට මැච් දවසට අඳින්න වාසනාවන්ත ඇඳුම් පවා තියනවා. මේක ප්‍රේක්ෂකයන්ට විතරක් පොදු කාරණයක් නෙමෙයි. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයොන් පවා මැච් එකකදි වාසනාව සහ සාර්ථකත්වය ලැබෙන්නත්, අවාසනාව පළවා හරින්නත් කියලා කරන්න පුරුදු වෙලා ඉන්න අමුතු දේවල් තියනවා. සමහරු මානසික ඒකාග්‍රතාවය රැකගන්නත් මේ දේවල් කරනවා. අපි කලින් ලිපියකදි කිවුවනෙ ක්‍රිකට් ක්‍රීඩකයො වාසනාව ගෙන දෙන අංක තමන්ගෙ ටී ෂර්ට් අංකය හැටියට තෝරගත්ත අවස්ථාත්.

අද අපි කියන්න යන්නෙ අන්න ඒ විදිහට ක්‍රිකට් මැච් අස්සේ අමුතු අමුතු විශ්වාස සහ පුරුදු තියාගෙන ඉන්න ක්‍රීඩකයො කරන වෙනස්ම ආකාරයේ වැඩ කීපයක් ගැන.

 

1. සනත් ජයසූරියගෙ හෙල්මට් පෑඩ් ඇල්ලීම
Source – youtube.com/Sanath Jayasuriya 189 vs India Sharjah

ක්‍රිකට් තරඟ අතරතුර ක්‍රීඩකයන් කරන්න පුරුදු වෙලා හිටපු අමුතු විදිහේ දේවල් ගැන මතක් කරද්දි මුලින්ම මතකයට නැගෙන නමක් තමයි අපේ සනත් ජයසූරිය. පන්දුවකට මුහුණ දෙන්න කලින් හරි, හයක් හතරක් ගැහුවට පස්සෙ හරි සනත් ජයසූරිය මාරුවෙන් මාරුවට තමන්ගෙ හෙල්මටය සහ පා ආවරණ (පෑඩ්ස්) අල්ලන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කලිසම් සාක්කුවටත් ඇඟිල්ලක් දානවා. සනත්ගෙ ඒ පුරුද්ද ඒ කාලෙ අපිට සුපුරුදු දසුනක් වෙලයි තිබ්බෙ.

 

2. සිම්බාබ්වේ ඕපනර්ස්ලාගේ අමුතු සුබ පතා ගැනීම
Source – quora.com

ග්‍රාන්ට් ෆ්ලවර් සහ මාර්ක් ඩෙකර් කියන්නේ කාලයක් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය හැටියට කටයුතු කරපු දෙන්නෙක්. බැට් කරන්න එළියට බහිද්දි දෙන්නගෙ වස් දොස් යන්නටය කියලා මේ දෙන්නා අමුතු විදිහෙ සුබපතා ගැනීමකට හුරු වෙලා හිටියලු. දෙන්නගෙන් එක්කෙනෙක් අනිකාට කියනවලු “මම ප්‍රාර්ථනා කරනව උඹේ ඔලුවෙ බෝලයක් වැදෙන්නටය” කියල. එතකොට අනිත් කෙනා කියනවලු “උඹටත් එසේම වේවා!” කියල.

 

3. බැට් එක සීලිමේ අලෝලා, වැසිකිළි ආසන පහත දාලා බැට් කරන්න ගිය මැකෙන්සි
Source – sacricketmag.com

ඔයාලට මතකද ඒ කාලේ දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරුවෙක් වෙච්ච නීල් මැකෙන්සිව? නීල් මැකෙන්සි කියන්නේ බැට් කරන්න යද්දි සාර්ථක වෙන්න කියලා අමුතු අමුතු වැඩ කරපු හාදයෙක්. දවසක් ක්ලබ් මැච් එකක් අතරතුර මැකෙන්සිගෙ සගයෝ එයාගෙ බැට් එක ඩ්‍රෙසින් රූම් එකේ සීලිමට තියලා ටේප් අලවලා තියනවා. වැඩේ කියන්නෙ එදා බැට් කරන්න ගිය මැකෙන්සි කෙලින්ම ගහල සෙන්චරියක්. ඉතින් බැට් එක සීලිමේ අලවපු නිසා තමන්ට වාසනාව උදා වුණා කියල හිතපු මැකෙන්සි එදා පටන් බැට් කරන්න යද්දි සීලිමේ බැට් එකක් රඳවලා යන්න පටන් අරගෙනලු. ඒ විතරක් නෙමෙයි, තවත් අමුතු පුරුද්දක් තිබිලා තියනවා මැකෙන්සිට. ඒ තමයි මැකෙන්සි හැමදාම බැට් කරන්න යන්න කලින් ඩ්‍රෙසින් රූම් එකේ වැසිකිළි සීට් පහත දාලලු යන්නෙ.

 

4. ටෙන්ඩුල්කාර්ගේ විශ්වාසය
Source – viralbitch.com

ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් කියන්නේ තමන් අන්ධ විශ්වාස (Superstition) වලට ලැදි පුද්ගලයෙක් කියල අවංකවම පිළිගන්න ක්‍රීඩකයෙක්. 2011 ලෝක කුසලානෙට ක්‍රීඩා කරන්න යද්දි සචින් තමන්ගේ වාසනාවන්ත බැට් එක අලුත්වැඩියා කරගෙන අරගෙන ආවය කියලත් කතාවක් තියනවා. ඒ වගේම සචින් හැමදාම බැට් කරන්න යද්දි වාසනාව උදාවෙන්න කියල මුලින්ම දාන්නෙ වම් පා ආවරණයලු.

 

5. ස්ටීව් වෝ සහ රතු ලේන්සුව
Source – wisdenindia.com

හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ තමන්ගේ වාසනාවේ සලකුණක් හැටියට සැලකුවේ එයාගෙ සීයාගෙන් ලැබුණු රතු ලේන්සුවක්. එයා ක්‍රීඩා කරද්දි මේ ලේන්සුව සාක්කුවෙ දාගෙන තමයි ක්‍රීඩා කරල තියෙන්නෙ. පස්සෙ කාලෙකදි බටහිර ඉන්දීය කොදෙවු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් මේ ලේන්සුව තමන්ට දෙන්න පුළුවන්ද කියල ස්ටීව් වෝ ගෙන් ඉල්ලීමක් කලාලු. ස්ටීව් වෝත් ලෝබ කමක් නැතුව ලේන්සුව සැමුවෙල්ට තෑගි කරල තියනවා.

 

6. ස්ටීව් ස්මිත්ගේ ලේස් හැංගිල්ල
Source – sportskeeda.com

ඕස්ට්‍රේලියාවේ තවත් ස්මිත් කෙනෙක් වෙන ස්ටීව් ස්මිත්ටත් අමුතු අන්ධ විශ්වාසයක් තියනවලු. ස්මිත් කැමති නැහැලු තමන් බැට් කරන්න යද්දි සපත්තු ලේස් පේන්න තියෙනවට. ඉතින් දවසක් IPL මැච් එකක බැට් කරන්න යන්න කලින් ස්මිත් කලේ තමන්ගෙ සපත්තු ලේස් මේස් එකට අලවගෙන යන එකලු. එහෙම කරගෙන ගිය පළවැනි මැච් එකේදිම ස්මිත් ශතකයක් වාර්තා කරන්න සමත් වුණාලු. එදා ඉඳන් වාසනාව ගෙන දෙන්න කියලා ස්මිත් බැට් කරන්න යද්දි යන්නෙ ලේස් පටි නොපෙනෙන විදිහට මේස් එකේ රඳවාගෙනලු.

 

7. ඩේල් ස්ටේන්ගේ වම් කකුල
Source – foxsports.com.au

අපි නම් ඉතින් සුබ ගමනක් යද්දි දකුණු කකුල පෙරට තියලනෙ යන්නෙ. හැබැයි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මැච් එකකදි ක්‍රීඩා පිටියට ඇතුළු වෙන්නෙ වම් කකුල ඉස්සරහට තියලලු. ඒ විතරක් නෙමෙයි වම් කකුල තියල ග්‍රවුන්ඩ් එකට ඇතුලු වෙන ගමන්ම ස්ටේන් අහස දිහාත් බලනවලු.

 

8. මහේලගෙයි මාලිංගගෙයි කිස්
Source – besttimepass.com, uk.reuters.com

අපේ රටෙන් බිහිවෙච්ච අති විශිෂ්ට පිතිකරුවෙක් වෙන මහේලත්, අති විශිෂ්ට පන්දු යවන්නෙක් වන මාලිංගත් “හාදු පුරුද්ද” නිසා ජනප්‍රිය බව අපි කවුරුත් දන්නවනෙ. තමන් බැට් කරනකොට නිතරම පිත්ත කිස් කරන එක මහේලගේ පුරුද්දක්. ඒ වගේම මාලිංගත් පන්දු යවන්නට දිව එද්දි පන්දුව සිපගන්න බව අපි කවුරුත් දන්න කාරණයක්නෙ.

 

9. සද්දෙට මියුසික් අහලා බැට් කරන්න යන ක්ලාක්
Source – abc.net.au

හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් කියන්නෙත් පන්දුවට පහරදෙන්න යන්න කලින් අමුතු පුරුද්දක් ඇති කරගෙන හිටපු ක්‍රීඩකයෙක්. ඒ පුරුද්ද තමයි හොඳ සද්දෙට සංගීතයට සවන් දීල බැට් කරන්න යන එක. මේකෙන් තමන්ට වාසනාව උදාවෙනව වගේම තමන්ගේ මානසික ඒකාග්‍රතාවයත් රැකෙනව කියල ක්ලාක් විශ්වාස කලාලු.

 

බෝනස් – නෙල්සන්ගේ අසුබ ඵල දුරු කරන ෂෙපර්ඩ්
Source – armchair-adventurer.com

මේ අමුතු පුරුද්දට නම් සම්බන්ධ වෙන්නෙ ක්‍රීඩකයෙක් නෙමෙයි. මෙයා ක්‍රිකට් විනිසුරුවරයෙක්.

111, 222 වගේ නෙල්සන් ලකුණු සංඛ්‍යාවල් බැට් කරන කණ්ඩායමට අසුබ ඵල උදාකරන බව අපේ ක්‍රිකට් ලෝලීන් දන්නා කරුණක්නෙ. නෙල්සන් කිවුවම අපිට නිරායාසයෙන්ම මතක් වෙන එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි හිටපු විනිසුරු ඩේවිඩ් ෂෙපර්ඩ්. ලකුණු පුවරුවේ නෙල්සන් සටහන් වන අවස්ථාවක ඩේවිඩ් ෂෙපර්ඩ් කරන්නේ නෙල්සන්ගෙ අසුබ ඵල නැති කරන්න කියලා තනි කකුලෙන් හිටගන්න එකයි.

 
 
Cover Image Source – cricketcountry.com