මයික්‍රොවේව් එකක් ගන්නද හිතන් ඉන්නෙ? මෙන්න ඊට පෙර ඔබ දැනගත යුතු දේවල් 6ක්

පහුගිය කාලෙ ලොකුවට කතාවක් ගියා මයික්‍රොවේව් වලින් පිළිකාකාරක ඇති වෙනව කියල. නමුත් ඒ කතාව ඇත්ත නෙවෙයි කියලත් පස්සෙ හොයාගෙන තියෙනව. නිසි ලෙස නඩත්තු කරන සහ මයික්‍රොවේව් කිරීමට සුදුසු බඳුන් පමණක් පාවිච්චි කරන මයික්‍රොවේව් උඳුන් වලින් සෞඛ්‍යට හානියක් නැති බවයි කියන්නෙ. කාර්ය බහුල ජීවිතේට මයික්‍රොවේව් එකක් කියන්නෙ නැතිවම බැරි භාණ්ඩයක් බවට පත් වෙලා. බොහෝ දෙනෙක් මයික්‍රොවේව් උඳුනක් මිලදී ගන්න හිතුවත් පොඩ්ඩක් පස්ස ගහන්නෙ තමන්ට අවශ්‍ය මොන වගේ මයික්‍රොවේව් උඳුනක්ද කියල හරියටම තෝරගන්න දන්නෙ නැති හින්දා. අනිවා අපි අද මේ කියන්න හදන්නෙ මයික්‍රොවේව් එකක් මිලදී ගන්න හිතන ඔබ දැනගෙන ඉන්න ඕන කරුණු කීපයක් ගැන.

 

1. මයික්‍රොවේව් එකේ සයිස් එක
Source – quora.com

විවිධ සයිස් වලින් මයික්‍රොවේව් උඳුන් ලබාගන්න පුළුවන්. මුලින්ම ඔබේ පවුලේ ඉන්න සාමාජිකයින් ගණන අනුව ඔබේ අවශ්‍යතාව වෙනස් වෙන නිසා ඔබට අවශ්‍ය කුමන ප්‍රමාණයේ උඳුනක්ද යන්න මුලින්ම තීරණය කරන්න. දෙතුන් දෙනෙකු සිටින කුඩා පවුලකට නම් පොඩි ප්‍රමාණයේ උඳුනක් ප්‍රමාණවත්. තුන් දෙනෙකුගේ පමණ ආහාර එකට රත් කල හැකි තරමේ බඳුනක් තැබීමට උඳුනේ ඇතුලත ඉඩකඩ ප්‍රමාණවත්දැයි මැන බලන්න. සාමාන්‍යයෙන් ලීටර් 15ත් 20ත් අතර ධාරිතාවයෙන් යුත් උඳුන් සාමාජිකයන් 2-4ත් අතර සිටින පවුලකට සුදුසුයි. ලීටර 25න් ඉහල ධාරිතාවයෙන් යුතු උඳුන් සාමාජිකයින් 4-6ත් අතර පවුලකට සුදුසුයි.

 

2. ඔබේ අවශ්‍යතාවය හඳුනාගන්න

ප්‍රමාණාත්මකව වෙනස් වෙනව වගේම මයික්‍රොවේව් උඳුන් වර්ග කීපයක් තියෙනව. මේ උඳුන් වලින් තමන්ගෙ අවශ්‍යතාවය අනුව ගැලපෙන උඳුනක් තෝරාගැනීම ඊලඟ පියවරයි.

Source – microwavereview.co.uk

Solo/Basic Microwave – ආහාර පිසීමට, රත් කිරීමට සහ ආහාර වල අයිස් ඉවත් කිරීමට (ඩිෆ්‍රොස්ට්) මේ බේසික් මයික්‍රොවේව් එකක් යොදාගන්න පුළුවන්. මේ බේසික් මයික්‍රොවේව් වල මිලත් අඩුයි. දැනටමත් සාමාන්‍ය අවන් එකක් ලඟ තියෙන කෙනෙක්ට මයික්‍රොවේව් එකක් ගන්නවා නම් බේසික් මයික්‍රොවේව් උඳුනක් ගැලපෙනව.

 

Source – russellhobbs.com

Microwave with Grill – ග්‍රිල් එකක් සහිත මයික්‍රොවේව් උඳුනක බේසික් මයික්‍රොවේව් උඳුනකට අමතරව ග්‍රිල් කිරීමේ පහසුකමක් තියෙනව. මේ උඳුන් බේසික් එකකට වඩා පොඩ්ඩක් මිලෙන් වැඩියි.

 

Source – tafelberg.co.za

Convection Microwave – ඇතුලතින්ම නිමවා ඇති පංකාවෙන් උඳුන තුල උෂ්ණත්වය පිට කර උඳුන ඇතුලත සමබර උෂ්ණත්වයක් පවත්වාගන්නව. මේ නිසා කලින් සඳහන් කල මයික්‍රොවේව් උඳුන් දෙකේම කල නොහැකි බේක් කිරීමේ කටයුතු මේ උඳුනේ කල හැකියි. සාමාන්‍ය අවන් එකක් ලඟ නැති කෙනෙක්ට මේ උඳුන වඩාත්ම සුදුසුයි.

 

3. ක්ෂමතාවය – wattage
Source – youtube.com/Difference Between Microwave and Oven

මයික්‍රොවේව් උඳුනක් මිලදී ගන්නකොට මීළඟට බලන්න ඕනේ ක්ෂමතාවය ගැන. ක්ෂමතාවය ඉහල යන තරමට මයික්‍රොවේව් එකේ කාර්යක්ෂමතාවය වැඩි වන අතර පිසීමට ගතවන කාලය අඩු වෙනව. මේ නිසා ඔබ කාර්යබහුල කෙනෙක් නම් ඉහල ක්ෂමතාවයකින් යුත් මයික්‍රොවේව් එකකින් ඔබ බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවය ලබාගන්න පුළුවන්. හැබැයි ක්ෂමතාවය වැඩි වෙනව කියන්නෙ වැය වන විදුලි බලයත් වැඩි වෙනව කියන එකයි. සාමාන්‍ය භාවිතාවට නම් වොට් 1000-1600 වගේ ක්ෂමතාවයක් සහිත උඳුනක් ප්‍රමාණවත්.

 

4. මයික්‍රොවේව් උඳුනක අනෙකුත් විශේෂාංග
Source – geappliances.com

කුඩා දරුවන්ගේ ආරක්ෂාව – ඇතැම් මයික්‍රොවේව් වල පාස්වර්ඩ් එකක් හෝ කෝඩ් එකක් ඇතුලු කල පසු උඳුනේ දොර හැරෙන පහසුකමක් සහිතයි. ආහාර පිසින විට මයික්‍රොවේව් එකක ඇතුලත උණුසුම් නිසා කුඩා දරුවන්ට වන අනතුරු වලක්වා ගන්න මේ පහසුකම සපයා තිබෙනව. නිවසේ කුඩා දරුවන් සිටිනවා නම් මේ පහසුකම සහිත මයික්‍රොවේව් එකක් මිලදී ගන්න එක ඔබට සුදුසු වේවි.

ඔටෝ කුක් පහසුකම – ටයිමරයේ වේලාවක් සෙට් නොකර ඔබ පිසින ආහාර වර්ගය තේරූ පසු අවශ්‍ය පරිදි ආහාරය පිසීමේ පහසුකම සහිත මයික්‍රොවේව් උඳුන් තිබෙනව.

පැනල් ටයිප් එක – ඔබ තෝරාගන්නා මයික්‍රොවේව් උඳුනේ පැනල් එක එහෙමත් නැත්නම් පාලක කොටස ඔබේ භාවිතයේ පහසුව පරිදි ඔබට තෝරාගන්න පුළුවන්. ෆෙදර් ටච්, මෙකැනිකල් සහ ටැක්ට් ඩයල් යනුවෙන් වර්ග තුනක පැනල් තිබෙනව. ෆෙදර් ටච් පැනලය ඔබේ ටච් ස්ක්‍රීන් එක සහිත දුරකථනයේ අයුරින් ක්‍රියාත්මක භාවිතා කල හැකියි. නිතරම භාවිතා කරන අරමුණින් උඳුනක් ගන්නවා නම් ටැක්ට් ඩයල් හෝ මෙකනිකල් පැනලයක් වඩාත් සුදුසුයි.

 

5. මයික්‍රොවේව් කිරීමට සුදුසු බඳුන්
Source – wikihow.com

මයික්‍රොවේව් උඳුන් සඳහාම විශේෂිත වූ භාජන භාවිතා කිරීම ඔබේ සෞඛ්‍යට වඩාත් සුදුසුයි. සාමාන්‍ය ප්ලාස්ටික්, වීදුරු හෝ පෝසිලේන් බඳුන් හැම එකක්ම මයික්‍රොවේව් කිරීමට සුදුසු නැහැ. මයික්‍රොවේව් කල හැකි ප්ලාස්ටික් බඳුන් තිබුණද පෝසිලේන් හෝ වීදුරු බඳුන් පමණක් මයික්‍රොවේව් කිරීම වඩාත්ම සුදුසු බවත් මතක් තබා ගන්න.

මයික්‍රොවේව් කිරීමට සුදුසු වීදුරු සහ පෝසිලේන් වල ඒ බව සඳහන් සලකුණක් හෝ Microwave Safe යනුවෙන් සඳහනක් හෝ තිබෙනව. එසේ නොමැති බඳුන් මයික්‍රොවේව් කිරීම සඳහා භාවිතා කිරීම කොහෙත්ම සුදුසු නැහැ.

මයික්‍රොවේව් සේෆ් බඳුන් වුවත් පළුදු වී හෝ පිපිරූ ඒවා නම් ඒවාත් භාවිතයෙන් ඉවත් කරන්න. මීට අමතරව කිසිදු විටෙක මයික්‍රොවේව් උඳුනට ෆොයිල් පේපර්ස් වලින් ආවරණය කල බඳුන් ඇතුල් කරන්න එපා. ෆොයිල් මයික්‍රොවේව් තුල ගිනි ගැනීමට ලක් වෙනව.

 

6. මිල ගණන් සහ මිලදී ගැනීම
Source – wikimedia.org

ඕනෑම විදුලි උපකරණ අලෙවි කරන තැනකින් ඔබට මයික්‍රොවේව් එකක් මිලදී ගන්න පුළුවන්. ඒත් වගකිව යුතු ආයතනයකින් මිලට ගන්න එක ඔබට වඩාත් වාසි සහගතයි. නිසි වගකීම් සහතිකයක් ඇති ස්ථානයකින් මිලදී ගැනීමේදී ඔබට පසුවට ලබාගත හැකි සේවයද ඉහලයි. ඒ වගේම බොහෝ ඔන්ලයින් මිලදී ගත හැකි ආයතන වල වට්ටම් මිලකටද ලබාගත හැකි නිසා වෙළඳපල මිල ගණන් ගැන දැනුවත්ව සිටීම වැදගත්. ප්‍රමාණ සහ ඇති උපාංග අනුව මිල ගණන් වෙනස් වෙන අතර අඩුම රුපියල් 8000/- සිට 30,000/-ට වැඩි වශයෙන් මයික්‍රොවේව් මිලදී ගන්න පුළුවන්.

Cover Image Source – toeic365.com