නිහඬ කෝපය ඔබේ ආදර සම්බන්ධතාවයත් වනසයිද? එහෙම නොවෙන්න නම් කරන්න ඕන දේවල් මේවායි

මොකද්ද හැබෑටම Passive Aggressive කියන්නේ? ඕන නම් නිහඬ කෝපය වගේ පරිවර්තනයක් දෙන්න පුලුවන්. කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. ඔය සමහරු ඉන්නේ කිසිම ප්‍රශ්නයක්, තරහක් නෑ වගේ බැලූ බැල්මට පේන්නේ. හැබැයි කරන කියන දේවල් වල තරහක්, ද්වේෂයක් හැංගිලා තියෙනවා කියලා දැනෙනවා. ගොඩක් වෙලාවට ලව් රිලේෂන්ශිප් එකක් ඇතුලේදී මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන එක බොහොම අමාරුයි. මොකද ඒ අයගේ තමන් කේන්තියකින් නැතිනම් අප්සෙට් එකකින් ඉන්නේ කියලා පෙන්නන්නේ නෑ, පිළිගන්නෙත් නෑ. ඒත් ඒ අය කරන කියන දේවල විනාශකාරී හැඟීම් හැංගිලා තියෙනවා. ඉතින් දැන් අනික් කෙනාට මෙහෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ක්‍රමයක් හිතාගන්නත් බෑ. කරන කිසිම දෙයක් මේ අයට හොඳත් නෑ. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන එකම මානසික වදයක් වෙනවා අනික් කෙනාට.

දැන් හිතලා බලන්න තමනුත් අන්න ඒ වගේ කේන්තියක්, ද්වේෂයක් හිතේ තියාගෙන එහෙම නෑ කියාගෙන ඉන්න කෙනෙක්ද කියලා. ඇත්තටම මේ Passive Aggressive හැසිරීම හොඳටම ප්‍රමාණවත් ආදරයක් වුනත් යාලු කමක් වුනත් විනාස කරලා දාන්න. ආන්න ඒ නිසා අපි මේ කියලා දෙන්න යන්නේ සරලව මේ Passive Aggressive හැසිරීමෙන් මිදෙන්න පුලුවන් ක්‍රම කීපයක්. හැබැයි ඉතින් මේ ක්‍රම වලටත් ගොඩදාගන්න බැරි නම් අපි තරයේ නිර්දේශ කරන්නේ මනෝවෛද්‍යවරයෙක් මුණගැසිය යුතුයි කියලා තමා.

 

1. හඳුනාගන්න
Source – powerofpositivity.com

මෙන්න මේක තමයි මූලිකම පියවර. තමන් ඇතුළේ Passive Aggressive හැසිරීම් තියෙනවාය කියන එක තේරුම් ගන්න එක. එතනින් එහාට පුලුවන් තමන්ගේ හැසිරීම් රටා වෙනස් කරගන්න අඩිය තියන්න. තමන් Passive Aggressive ද කියලා තේරුම් ගන්න හොඳම ක්‍රමයක් තමයි වෙනත් කෙනෙක් විදියට තමන්ව සලකලා තමන් ඇතුළේ ඒ කියන Passive Aggressive හැසිරීම් තියෙනවද කියලා හිතලා බලන එක. සමහර වෙලාවට මේ විස්තර ප්‍රයෝජනවත් වෙයි ඒකට. සමහර වෙලාවට තමන්ගේ හැසිරීම් රටා ගැන දිනපතා ලියන්න පුරුදු වුනොත්, ඒත් තමන් Passive Aggressive ද කියලා අඳුනගන්න පුලුවන් වෙයි.

 

2. මොනවා හින්දද මට මෙහෙම වෙන්නේ?
Source – theodysseyonline.com

ඕනම Passive Aggressive හැසිරීමක් තියෙන මනුස්සයෙක්ගේ ඒ හැසිරීමට හේතු වෙන යම් කිසි සිදුවීම් තියෙනවනේ. ඒ කියන්නේ ට්‍රිගර්ස්. අන්න ඒ සිදුවීම් අඳුනගන්න එක මෙතනදී වැදගත්. අර උඩින් කිවුව විදියට තමන් Passive Aggressive වෙන තැන් අඳුනගත්තට පස්සේ අපිට පුලුවන් ඒ ඒ හැසිරීම් වලට හේතු වුණු කරුණු කාරණා මොනවද කියලා හොයලා බලන්න. ඒවත් ලිවුවට කමක් නෑ. මෙහෙම Passive Aggressive හැසිරීම් අවස්ථා කීපයක් එකතු වෙනකොට ඒවල පැටර්න් එකක් අඳුනගන්න පුලුවන් වෙයි.

 

3. මේවා ලියන්න ඕනද? ලියන්නේ කොහොමද?
Source – topyaps.com

ලියන්නෙ නැතුව ඔලුවේ තියාගෙන ඉන්න බැහැනේ. අන්න ඒ නිසා ජර්නල් එකක් තියාගන්න එක වටිනවා. ඒකෙන් තමන්ටම Passive Aggressive හැසිරීම් නැති කරගන්න පුලුවන් වෙයි. මේවා ලියන්න විශේෂ ක්‍රමයක් හොයාගන්න ඕන වෙන්නේ නෑ. සරලවම තමන් Passive Aggressive කියලා දැනුණු අවස්ථාවක්, කාත් එක්කද ඒ දේවල් දැනුනේ කියන එක, ඒ කෙනා එක්ක තමන්ගේ සම්බන්ධතාවය මොකක්ද කියන එක, එතනදී ඇත්තටම වැ‍රැද්දක් වුනා නම් ඒ කාගෙන්ද කියන එක, ඒ කෙනා තමන්ව පාලනය කරන්න උත්සාහ කලාද කියන එක, කොහේදිද කොයි වෙලාවේද වුනේ කියන එක, සිදුවීමට ඔයා දක්වපු ප්‍රතිචාර මොනවද කියන එක, අන්තිමට සිද්ධ වුනේ මොකක්ද කියන එක වගේ හැමදෙයක්ම ලියන්න. මේක ටික දවසක් කරනකොට තේරෙයි මෙහෙම ලියන එකත් හිතට සැහැල්ලුවක් ගේනවා කියලා.

 

4. මාව තරහ ගස්සන්න එපා, හරි!
Source – pulzo.com

මෙන්න මේක තේරුම් ගන්න ඕන. Passive Aggressive කියන්නෙත් කේන්තියක් තමයි. එළියට ආවේ නැති, ඇතුළේ බුර බුරා නැගෙන ගින්නක් වගේ තියෙන කේන්තියක්. මේක ඇත්තටම කෙලින්ම කේන්තිය විදියට එලියට එන්නේ නැතිවෙන්න විවිධ හේතු තියෙන්න පුලුවන්. සමහර වෙලාවට කේන්ති ගැනීම වැරදියි කියන හැඟීම. එහෙම නැතිනම් අනිත් කෙනා අපිව පාලනය කරන නිසා කේන්ති ගන්න අවස්ථාවක් නැතිවීම. මේ කොයි දේ වුනත් ඒ වගේ ඇතුළේ කැකෑරෙමින් තියෙන කේන්තිය තමන්ටත් විනාශකාරීයි.

අන්න ඒ නිසා තමන්ට යම් දේකට කේන්ති ගිහින් තියෙන බව පිළිගැනීමත්, කේන්ති ගන්න තමන්ට අයිතියක් තියෙන බව පිළිගැනීමත් කළ යුතුයි. කොටින්ම කිවුවොත් කේන්තිය අපිට පාලනය කරන්න පුලුවන් වුනත්, කේන්ති යෑම අපිට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ ඕනම ශාන්තිවාදී තාපසයෙක්ට වුනත් කේන්ති යන මොහොතක් තියෙන්න පුලුවන්. ඒක වැ‍රැද්දක් නෙවෙයි, අන්න ඒක පිළිගන්න ඕන.

 

5. ඒ ගැන ගැඹුරින් තේරුම් ගන්න
Source – thehealthsite.com

දැන් තමන්ට කේන්තියක් තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ පුලුවන් ඒ ගැන කතා කරන්න. සමහර වෙලාවට අපිට කේන්ති ගිහින් තිබුණට ඇත්තටම අපි දන්නෙ නෑ මොකක් නිසාද අපි කේන්ති අරන් ඉන්නේ කියලා. එතකොට කරන්න තියෙන හොඳම දේ තමයි ගැඹුරේ තියෙන හේතු මොනවද කියලා නිවීසැනසිල්ලේ කල්පනා කරන එක. දැන් කොහොමහරි කේන්තියට හේතු කාරණා හොයාගත්තා නම් ඒ ගැන මොනවාහරි කරන්න පුලුවන්. හැබැයි ඒ කරනදේ විනාශකාරී දෙයක් නොවිය යුතුයි. සමහර වෙලාවට කේන්තිය නිවෙන්නේ වැරදිකාරයාට බැණලා වෙන්න පුලුවන්. හැබැයි එහෙම නොකර කේන්තිය නිවාගන්න ක්‍රමයක් හොයාගන්න එක වඩාත් වැදගත්.

 

6. කෙලින් කතා කරන්න
Source – shape.com

මෙන්න මේක තමයි මුලු ආටිකල් එකේම වැදගත් දේ. ගොඩක් වෙලාවට ඔය Passive Aggressive හැසිරීම් ඇතිවෙන්නේ අපිට කෙනෙක් එක්ක තියෙන කේන්තියක් පිටදාගන්න බැරි වුණු වෙලාවට කියලා අපි කිවුවනේ. ආන්න ඒ නිසා කෙනෙක් තමන් අකමැති දෙයක් කරනවා නම් ඒ ගැන කෙලින් කතා කරන්න. ඔ‍ෆිස් එකේ බොස් තමන්ට අගෞරවයෙන් සලකනවා නම් ඒක කෙලින්ම කියන්න. හැබැයි බොරළු ගහනවා වගේ නෙවෙයි. ඒත් පැහැදිලිව සහ ස්ථිරසාරව කියන්න ඕන තමන් එහෙම සැලකුමකට කැමති නැහැ කියලා.

ඔයිට වඩා සංකීර්ණ දෙයක් ගැන හිතුවොත්, අපි කියමු වයිෆ් කොයි මොහොතකවත් යන්නේ කොහේද කියලා කියන්නෙ නැතුව යනවා එනවා කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. වයිෆ් තව මනුස්සයෙක්නේ. ඒත් පවුල් ජීවිතේක ඉන්නකොට පාට්නර් කරන කියන දේවල් නොදැන ඉන්න වෙන එක කේන්ති යන වැඩක්. හරියට අපි ඒ ජීවිතේ ඇතුළේ නැහැයි කියලා හිතෙනවනේ. හැබැයි ඕකට කේන්ති ගත්තොත් තමන් වයිෆ්ව පාලනය කරන්න හදනවා කියලාත් හිතේ අදහසක් තියෙනවා. ඒ නිසා ඒ කේන්තිය පෙන්නන්නෙ නෑ. ඔන්න පටන් ගන්නවා Passive Aggressive හැසිරීම්. දැන් මේකට මොකද්ද කරන්න ඕන? ඉවසීමෙන්, කරුණාවෙන්, පැහැදිලිව තමන්ට දැනෙන විදිය ගැන කියන්න ඕන.

හැබැයි තව දෙයක්. අපි කියමු කේන්තිය තියෙන්නේ අපි එක්කමයි කියලා. අන්න ඒ වගේ මොහොතක වුනත් Passive Aggressive හැසිරීම් ඇතිවෙන්න පුලුවන්. එහෙම වෙලාවකත් කරන්න ඕන තමන්ගේම හිතට කරුණු පැහැදිලි කරලා දෙන එක තමයි.

 

7. හිතට කියාදෙන්න
Source – christianpost.com

මේක කරලා බලන්න පුලුවන් දෙයක්. තමන් මේ හැමදෙයක්ම තේරුම් ගත්තත්, Passive Aggressive හැසිරීම් එක ‍රැයින් නවත්තන්න බැහැනේ. හැබැයි මෙහෙම පුලුවන්. දැන් තමන් Passive Aggressive හැසිරීමක් දක්වනවා කියලා තේරුම් යනකොට වහාම හිතට කියලා දෙන්න මේක නැවැත්විය යුතුයි කියලා. තමන්ම හිතන්න මේකට හේතුව, හේතුව නැති කිරීම සහ හේතුව නැතිකරගන්නේ මෙහෙමයි කියන එක. ඔන්න ඔහොම හිතට කරුණු වටහලා දෙන්න පටන් ගන්නකොට අපිට භෞතිකව හෝ මානසිකව විනාශකාරී දේවල් අපේ Passive Aggressive හැසිරීම් වලින් වෙන එක වළක්වා ගන්න පුලුවන්.

Cover Image Source – lostinbergen.wordpress.com