අසරණ වූ අයට උදවු උපකාර වන්නට කැමති ඔබට ඒ සඳහා ආධාර ලබාදිය හැකි තැන් 8ක් මෙන්න

ශ්‍රී ලාංකික අපි වත්පොහොසත්කම් අතින් ලොකු තැනක නොහිටියත් අපි ඇවිල්ලා දනට පිනට ඉතාම ලැදි පිරිසක්. වෙලාවකට ජාති ආගම් මුල් කරගෙන ඇවිලෙන්න හැදුවත්, කාටත් කරදරයක් වෙච්ච අවස්ථාවක ඒවා පැත්තකට දාල එකාවන්ව නැගී හිටින්න අපි සමත්. පහුගිය අවුරුදු කීපය පුරාවටම උදාවෙච්ච අවාසනාවන්ත ව්‍යසන අවස්ථාවන් ඊට හොඳම උදාහරණ. මහ ලොකු විපත් පැත්තකින් තියලා බැලුවත් ලංකාවෙ අපි සතෙකුගේ දුකක් වුණත් දැකලා අහක බලන් යන උදවිය නෙමෙයි. හැකියාවක් ලැබෙන විටකදී ආධාර ලැබිය යුතු අයෙක් වේ නම් ඒ අය වෙනුවෙන් පොඩි මුදලක් හරි පරිත්‍යාග කරන්නත් අපි පසුබට වෙන්නෙ නැහැ.

අපි මේ ලිපියෙන් ගෙන එන්නේ එවන් වූ ඔබට පොඩි උදවුවක්. ලෝකය යහපත් තැනක් කරන්නට, තවත් කෙනෙකුන්ගේ දුකට පිහිටක් වන්නට ඔබේ හිතේ කැමැත්තක් තියනවානම් ඒ සඳහා මුදලින් ආධාර දියහැකි ස්ථාන කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ගෙන එන්නේ. මේවා හැම එකකටම වගේ අන්තර්ජාලය හරහාත් ඔබට ආධාර පරිත්‍යාග කරන්නට පුළුවන්.

 

1. ශ්‍රී ලංකා රතුකුරුස සංගමය
Source – redcross.lk

යුධ වකවානුවේ වගේම ගෙවුණු හදිසි ආපදා අවස්ථාවන් වලදීත් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය විශාල සහන සේවා රැසක් ක්‍රියාත්මක කරන ලද සංවිධානයක්. විපත් අවස්ථාවලදී සහන සේවා ක්‍රියාත්මක කිරීම වගේම විපතට පත් ජනතාවගේ සෞඛ්‍ය ආදී නොයෙකුත් අවශ්‍යතාවන් සොයා බලමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ පිළිවෙලවල් සැකසීම රතු කුරුස සංගමය මගින් සිදු කෙරෙනවා. තම ස්වේච්ඡා සේවයන් ක්‍රියාත්මක කරවමින් රටට සෙත සලසවන මේ සංවිධානයට අන්තර්ජාලය හරහා ආධාර කරන්නට ඔබට පුළුවන්.

ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරනවානම් පහත තොරතුරු ඔබට වැදගත් වේවි.

බැංකුව – Sampath Bank PLC – Head office Branch

ගිණුමේ නම – Sri Lanka Red Cross Society – Assistance Account

ගිණුම් අංකය – 0929 1000 0286

SWIFT CODE – BSAMLKLX

 

දුරකථන – 112691095/ 112691095

 

2. SOS ළමා ගම්මානය
Source – soschildrensvillages.lk

SOS ළමා ගම්මාන සංකල්පය හරහා දෙමවුපියන්ගේ රැකවරණය අහිමිව අසරණ භාවයට පත්ව සිටින දුවා දරුවන් රැසකගේ ජීවිත රැසකට එළිය, උණුසුම ලබා දෙනවා. SOS සහෝදර සහෝදරියන්ගේ සහ SOS මවුන්ගේ ආදරය සහ රැකවරණය මැද, සාමාන්‍ය ළමා නිවාසයට වඩා දරුවෙකුගේ මනස සහ පෞරුෂය වර්ධනය කිරීමක් මේ ළමා ගම්මාන තුළදී සිදු කෙරෙනවා.

SOS ළමා ගම්මානයේ රැකවරණය යටතේ සිටින දරුවන්ට ආධාර කලහැකි ආකාර කීපයක්ම තිබෙනවා. ඔබට පුළුවන් මේ එක් දරුවෙක් වෙනුවෙන් මාස්පතා හෝ වාර්ෂිකව අනුග්‍රහය සපයන්න. මේ සඳහා මාස්පතා රුපියල් 1500ක මුදලකුත්, වාර්ෂිකව නම් රුපියල් 18,000ක මුදලකුත් තමයි වැය වෙන්නේ. එහෙමත් නැතිනම් ඔබට පුළුවන් මාස්පතා රුපියල් 1000ක මුදලකින් හෝ වාර්ෂිකව රුපියල් 12,000ක මුදලකින් දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු වලට අනුග්‍රහය දක්වන්න. SOS පවුලක් සඳහා ආධාර කරනවානම් එයට මාස්පතා වැයවෙන අනුග්‍රාහක මුදල වන්නේ රුපියල් 15,000ක්.

ඔබට මේ ආයතනයට ආධාර කරන්නට අවශ්‍ය නම් ඉහත ආකාරයේ අනුග්‍රාහකයෙක් වෙන්නටම අවශ්‍ය නෑ. ඔබට පුළුවන් ඔබේ හැකියාව අනුව ආධාරයක් පරිත්‍යාග කරන්නට.

 

දුරකථන – 112702712

 

3. සර්වෝදය
Source – sarvodaya.org

සර්වෝදය ආයතනය කියන්නේත් අසරණ ජනතාවට පිහිට වීමට සමාජ සේවා සහ ස්වේච්ඡා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ආයතනයක්. සර්වෝදය සුවසෙත සේවා සමාජය හරහා දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට, පවුල් රැකවරණය අහිමි වැඩිහිටියන්ට සහ ආබාධිත අයට රැකවරණය සැලැස්වීම සිදු කරනවා. ඔවුන්ට ආධාර උපකාර කිරීමට කැමති නම් පහත බැංකු තොරතුරු ඒ සඳහා ඔබට උපකාරී වේවි. අන්තර්ජාලය ඔස්සේ ආධාර ලබාදෙන්නට මේ සබැඳිය හරහා යන්න.

බැංකුව – National Development Bank, Colombo 2.

ගිණුමේ නම – Sarvodaya Suwasetha Sewa Society LTD

ගිණුම් අංකය     – 101180000047

SWIFT Code – NDBSLKLX

Bank Code – 7214

 

දුරකථන – 112647159

 

4. චිත්‍රාලේන් සංවිධානය
Source – chitralane.lk

චිත්‍රාලේන් සංවිධානය සහ විශේෂ අධ්‍යාපන පාසල විසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට රැකවරණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ආදී පහසුකම් සලස්වනු ලබනවා. 1967දී අරඹන ලද මේ සංවිධානය හරහා මේ වෙද්දි විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 2000කට වැඩි පිරිසක් වාර්ෂිකව උදවු උපකාර ලබනවා. ඔබට පුලුවන් මේ සබැඳිය හරහා ගිහින් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මතු සුභ සිද්ධිය උදෙසා පරිත්‍යාගයක් කරන්න.

දුරකථන – 112503906/112582758

 

5. Little Hearts
Source – littlehearts.lk

Little Hearts ව්‍යාපෘතිය නිර්මාණය වෙන්නෙ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ආධාර ලබාගැනීම පිණිසයි. එහි ළමා හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීම මගින් රෝගී කුඩා දරුවන්ට නොමිලයේම ප්‍රතිකාර ලබාදීම තමයි මෙහි අරමුණ. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හෘද රෝග ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දරුවන් ප්‍රමාණයට සාපේක්ෂව එහි පහසුකම් අවම වීම නිසා දරුවන්ගේ ජීවිත වලට ඇතිවන අවදානම වළක්වාගන්නට මේ මගින් හැකියාව ලැබෙනවා. මේ සඳහා ඔබට අන්තර්ජාලය හරහා ආධාර කරන්නට මෙතැනින් පුළුවන්.

පහත තිබෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරුයි.

බැංකුව – Bank of Ceylon

ගිණුමේ නම –  Little Hearts

ගිණුම් අංකය – 79738633

 

Hutch හෝ Dialog සම්බන්ධතාවයක් ඔබ සතුයි නම්, REGLH යනුවෙන් 77100 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් මාස්පතා රුපියල් 100 බැගින් එයට පරිත්‍යාග කිරීමේ සැලසුමකට ඇතුළත් වෙන්න ඔබට පුළුවන්.

එසේත් නැතිනම්,

LH<පරිත්‍යාග මුදල> යනුවෙන් සටහන් කොට 77100 අංකයට යැවීමෙන් ඔබට කැමති මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරන්නට පුළුවන්.

දුරකථන – 115300700/ 071 644 1122

 

6. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය
Source – samasthalankakidneypatients.lk

ශ්‍රී ලංකාව තුල වකුගඩු රෝග හා බැඳුණු ආර්ථික, සෞඛ්‍ය සහ සමාජ ප්‍රශ්න අවම කිරීම තමයි මේ සංගමය මගින් අරමුණු කරන්නේ. වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා උදවු උපකාර කිරීම, මිලාධික ප්‍රතිකාර සඳහා මුදලින් උදවු උපකාර කිරීම සහ මග පෙන්වීම, දුර පළාත්වල සිට එන වකුගඩු රෝගීන්ට පහසුකම් සැලසීම, වකුගඩු රෝගීන් දැනුවත් කිරීම, වකුගඩු රෝගීන්ගේ පවුල් වලට උදවු උපකාර ලබාදීම සහ ඔවුන්ගේ ආර්ථික සහ මානසික ගැටලු අවම කිරීමට උපකාරී වීම මේ සංවිධානය මගින් සිදුකරන සේවාවන් අතරින් කිහිපයක්.

මේ තමයි ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු.

බැංකුව – ලංකා බැංකුව, රීජන්ට් වීදිය ශාඛාව

ගිණුම් අංකය -72698735

Dialog සම්බන්ධතාවයක් ඔබ සතුව තිබෙනවානම් KDN<Space>මුදල ටයිප් කර, 77220SMS කිරීමෙන් ආධාර කරන්න ඔබට පුළුවන්.

 

දුරකථන – 113 092900

 

7. Animal SOS Sri Lanka
Source – animalsos-sl.com

Animal SOS Sri Lanka කියන්නේ අසරණ සතුන්ට රැකවරණය සහ සහනය සලසන සංවිධානයක්. සුනඛයන්, බළලුන් ඇතුළු අසරණ සහ අනාථ වූ සතුන් හට ආහාරපාන, නවාතැන් සහ සෞඛ්‍ය සේවාවන් ලබාදෙමින් ඔවුන් විසින් කැපීපෙනෙන මෙහෙයක් ඉටු කරනවා. මේ වන විට Animal SOS Sri Lanka යටතේ රැකවරණය ලබන අසරණ සතුන් සංඛ්‍යාව දහසකුත් ඉක්මවනවා. ඉතින් ඔබ කැමතිනම් මේ අසරණ සතුන්ගේ ජීවිත වලට සහනයක් සැලසීමට යම් පමණකින් හෝ උදවු වෙන්න ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඔබට පුලුවන් අන්තර්ජාලය ඔස්සේ පරිත්‍යාගයක් කරන්නට.

එසේත් නැතිනම් පහත බැංකු හරහා ඔබට පුලුවන් මුදල් පරිත්‍යාග කරන්නට.

 

Barclays Bank PLC (ලංකාවෙන් පිටත අයට)

ගිණුමේ නම – Animal SOS Sri Lanka

ගිණුම් අංකය – 10823767

Sort Code – 20-52-74

 

Commercial Bank, Galle Fort Branch

ගිණුමේ නම – Animal SOS Lanka (Pvt) Limited

ගිණුම් අංකය – 1050013061

SWIFT Key – CCEYLKLX

 

දුරකථන – 417921113

 

8. CandleAid Sri lanka
Source – candleaid.org

ජනප්‍රිය නවකතාවක් සහ සම්මානලාභී චිත්‍රපටයක් බවට පත්වෙච්ච “සැමීගේ කතාව” රචනය කරපු කැප්ටන් එල්මෝ ජයවර්ධනයන් තමයි මේ කැන්ඩ්ල් ඒඩ් සංවිධානයේ නිර්මාතෘවරයා වෙන්නේ. 1995 අවුරුද්දෙදි පිහිටවපු මේ සංවිධානය මගින් අඩු ආදායම්ලාභී පවුල් වලට නොයෙක් ආකාරයේ සහන සැලසෙනව. අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනයට උපකාර වීම, අඩු ආදායම් ලාභී පවුල්වලට ආධාර ලබා දීම සහ සෞඛ්‍ය පහසුකම් සැලසීම මේ සංවිධානය මගින් සිදුකෙරෙන මූලික සේවයන් කිහිපයක්.

ඔබට පුළුවන් මේ ආයතනය හරහා අඩු ආදායම්ලාභී පවුලක දරුවෙක්ගේ අධ්‍යාපන වියදම් සඳහා අනුග්‍රහය දක්වන්න. එසේත් නැතිනම් ඔබට පුළුවන් අසරණ පවුලකට අනුග්‍රහය දක්වන්නට. මීට අමතරව පිළිකා රෝගියෙකුගේ ප්‍රතිකාර සඳහා අනුග්‍රහය දක්වන්නටත් ඔබට පුළුවන්.

එසේත් නැතිනම් ඔබට පුලුවන් ඔබ කැමති මුදලක් අන්තර්ජාලය හරහා පරිත්‍යාග කරන්නටත්.

දුරකථන – 11-2642526/0112642342

Cover Image Source – soschildrensvillages.lk