දෙන්නත් එක්ක හවසට යන්න හොඳ කොළඹ තියෙන ඉහළ පෙළැන්තියේ බාර් 5ක්

දැන් අපි වැදගත් විදියට වාඩි වෙලා, බයිට් එකක් මේසෙට ගෙන්න ගෙන බොන්න පුලුවන් විදියේ බාර් එකකට යන්නේ මොකටද? බොන්නද? ඔව්, එහෙම ගන්නත් පුලුවන්. හැබැයි බාර් එකකට යන්නේ බොන්න විතරක් නං ඒකට ආයෙ මොන බාර් එකත් එකයිනේ. හැබැයි ඇත්තටම මිනිස්සු මේ කිව්ව විදියේ රෙස්‍ටුරන්ට් ඇන්ඩ් බාර් පොට් එකකට යන්නේ බොන එකේ කලාවක් හින්දා. ඒ කියන්නේ මිතුරු සාමීචියක් එක්ක, කෑම ටිකක් එක්ක බීම ටිකක් බොන එකට තමයි එහෙම තැනකට යන්නේ. දැන් ඔය විදියේ තැන් ගත්තත් එක එක ලෙවල් එකේ පොට් තියෙනවනේ. මේ කියන්න යන්නේ ඉහළ මට්ටමේ නැත්නම් හයි එන්ඩ් කියන්න පුලුවන් විදියේ කොළඹ අවට තැන් කීපයක් ගැන. මේ තැන්වල මිල ගණන් ටිකක් වැඩි වෙන්න පුලුවන්. හැබැයි ඒ ගණන් වලට හරියන විදියේ කෑම බීම, සර්විස් එක සහ ක්ලාස් එකත් වැඩියි.

 

1. Sky Lounge – The Kingsbury Hotel
Source – thekingsburyhotel.com

කින්ග්ස්බරි හෝටලේ රූෆ් ටොප් එකේ තියෙන ස්කයි ලෝන්ජ් බාර් එක දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා චුට්ටක් දුර්වර්ණ වෙලා වගේ පෙනුනත්, තාමත් කොළඹ තියෙන හොඳ බාර් එකක් විදියට තමයි ගණන් ගැනෙන්නේ. විශේෂයෙන්ම හවස් වරුවේ මෙතනට ගිහිල්ලා කොක්ටේල් එකක් තොලගාන ගමන්, ඈතට විහිදිලා පේන අලුත් පෝට් සිටි වැඩ බිමයි, ඊට එහා මූදයි පහුකරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න එක වෙනම ආතල් එකක්.

මේ අයගේ සිග්නේචර් කොක්ටේල් ගැන කතා කලොත් එහෙම තැඹිලි වතුර, ස්ට්‍රෝබෙරි, මින්ට් කොළ, මාලිබු, රාස්බෙරි වොඩ්කා එක්ක එන කින්ග් කොකනට් රිෆ්‍රෙෂර් එක මරු. එතනින් එහාට Kings Basil Gimlet, The Gladiator, The Green Oval, Kingsbury Sweet Cinnamon Bourbon Tea වගේ සිග්නේචර් කොක්ටේල් එහෙමත් ට්‍රයි කරලා බැලුවට වරදක් නෑ.

තැන මෙතන:

 

2. Cloud Red – Cinnamon Red
Source – cinnamonhotels.com

රූෆ් ටොප් බාර් වල තියෙන අමුතුම ආකර්ෂණය තමයි හවස් වරුවක අහසේ ඉඳන් පහළ තියෙන කොළඹ නගරයේ කලබලය, අහස සිඹින දැවැන්ත ගොඩනැගිලි ඇතුළු නගරයම නිසංසලේ ඉඳන් රස විඳින්න පුලුවන් වීම. ඒකට රතු පාටින් ඉර බැහැගෙන යන අහසත් එකතු වුනහම දැනෙන අපූරු ගතිය ගැන කියන්න වචන නෑ. සිනමන් රෙඩ් එකේ රූෆ් ටොප් එකේ තියෙන ක්ලවුඩ් රෙඩ් බාර් එකේ නමේ තේරුමත් එතන හවස්වරුවට ගියහම වැටහෙයි.

ඇල්කොහොල් පාවිච්චියක් නැති ඩයල් එකකට නම් අපි රෙකමන්ඩ් කරනවා Cinnamon Value මොක්ටේල් එක. කෙලින්ම චොකලට් ලෝකයක්! කොක්ටේල් ගත්තොත් ඕනම ක්ලැසික් කොක්ටේල් එකක් හවස් වරුවකට ගතියක් තියෙනවා.

තැන මෙතන:

 

3. VU Restobar – Best Western Hotel
Source – facebook.com/BestWesternColombo

මේ කොළඹ නගරයට ඉහතින් ක්ෂිතිජය වෙනකල් ඈතට ඈතට කොළඹ නගරය දකින්න පුලුවන් විදියේ දර්ශනයකින් සමන්විත තවත් රූෆ් ටොප් බාර් එකක්. හවස ඉර බහිනකොට වගේම රාත්‍රී කාලයටත් මෙතන නිස්කලංකේ අඩියක් ගහලා කතාවක් දාගෙන ඉන්න මරු. විශේෂයෙන්ම රෑට මෙතන හරිම අලංකාරයි. රතු පාට, නිල් පාට, දම් පාට ලයිට් එක්ක මෙතන ඇත්තටම රෙට්‍රෝ ගතියක් දැනෙන්න පටන් ගන්නවා එතකොට.

මෙතන ක්ලැසික් කොක්ටේල් වර්ග වගේම හිත් ඇදගන්න විදියේ සිග්නේචර් කොක්ටේල් වර්ගත් තියෙනවා. කොහොමද “මී මැස්සෝ” එකක් ගේන්න කියලා වේටර් මලයට කිව්වහම? ඇත්තටම මේක අරක්කු, දෙහි යුෂ සහ මී පැණි දාලා හදපු කොක්ටේල් එකක්. මේක ඇතුළු Arracklush, Ceylon Mint, Tuk Tuk, Taprobana, Kandy Lamissi, Lunatic @ Vu වගේ තව සිග්නේචර් කොක්ටේල් ගණනාවක්ම තියෙනවා ‍තෝරගන්න. මේ හැම එකක්ම වගේ අරක්කු බේස් වුණු කොක්ටේල් කියලත් කියන්න ඕන.

තැන මෙතන:

 

4. Ward7 – Jetwing Colombo Seven
Source – jetwinghotels.com

ජෙට්වින්ග් ලාගේ අලුත් කොළඹ හතේ හොටෙල් එකේත් බොහොම අපූරු රූෆ් ටොප් බාර් එකක් තියෙනවා. ඇත්තටම කොළඹ අහස උසට හදන හොටෙල්ස් වල තියෙන වාසියක් තමයි මේ විදියේ ආකර්ෂණීය රූෆ් ටොප් බාර් නිර්මාණය කරන්න පුලුවන් වීම. ඇත්තටම අපි දැකලා තියන ආකර්ෂණීයම රූෆ් ටොප් බාර් එක මේක නොවුනත්, ඉන්‍ෆිනිටි පූල් එකක් එක්ක මේක නිර්මාණය කරලා තියෙන විදිය අපි කොළඹ වෙන කොහේවත් දැකලා නෑ!

මෙතන කොක්ටේල් ගැන නම් විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ. ලංකාවේ හොඳ පබ් එකක දකින්න තියන ක්ලැසික් සහ අලුත් කොක්ටේල් ජාති ගොඩක් ඒවා මෙතනින් ලබාගන්න පුලුවන්.

තැන මෙතන:

 

5. Vistas – Mövenpick Hotel Colombo
Source – movenpick.com

කොළඹ තවත් අපූරු හෝටලයක තියෙන ඕපන් රූෆ් ටොප් බාර් එකක් තමයි විස්ටා කියන්නේ. හොටෙල් එක මූවන්පික්. මෙතන ඉඳන් බලනකොට කොල්ලුපිටියට එහා මුහුදු තීරයේ බොහොම සුන්දර දසුනක් රසවිඳින්න පුලුවන්. ඉතින් මුහුදු හුළං වදින අතරේ හීනියට හිත පිනවන මියුසික් එකකුත් අහගෙන මාටිනි එකක් තොලගාන එකේ තියෙන ආතල් එක ගැන කියලා වැඩක් නෑ. ඒක එතනට ගිහින් විඳලාම බලන්න ඕන.

විස්ටා බාර් එකෙන් අපි හිතමු කෙලින්ම බෝතලයක්ම ගත්තා කියලා. බෝතලෙත් එක්කලා මේ අය දෙනවා ඒ බෝතලෙන් කොක්ටේල් හදන්න පුලුවන් අනං මනං සෙට් එකක්ම. උදාහරණයක් විදියට අපි කියමු රම් බෝතලයක් ගත්තා කියලා. ඒකත් එක්ක ලැබෙනවා මොහි‍තෝ හදන්නයි, පිඤ්ඤාකොලාදා හදන්නයි බඩු. වොඩ්කා බෝතලයක් ගත්තොත් කොස්මොපොලිටන් හදන්නයි, බ්ලඩි මේරි හදන්නයි බඩු හම්බුවෙනවා! ආතල් නෙහ්.

මේ අයගේ සිග්නේචර් කොක්ටේල් ගැන කියනකොට මුලින්ම කියන්න වෙන්නේ අච්චාරු ගැන. කන අච්චාරු නෙවෙයි, හැබැයි හායි හූයි ගාලා අච්චාරු කන විදියටම බොන්න පුලුවන් ටිකීලා බේස් වුණු කොක්ටේල් එකක්. තව පිස්සු කොක්ටේල් එකක් තමයි එබොනි කියන්නේ. කොඤ්ඤැක් එක්ක නුටෙලා, ඔරියෝ, බටර්ස්කොච් දාලා හදපු එකක්. ඔය විදියේ තව පිස්සු ආතල් කොක්ටේල් වන ෆන් එක ගන්න පුලුවන් විස්ටා රූෆ් ටොප් බාර් එක පැත්තේ ගියොත්!

තැන මෙතන:

 

අනිවා අවවාදය: කණ් පාත් වන තුරු බීමෙන් පොකැට්‍ටුවටත්, ශරීර සෞඛ්‍යයටත්, ගෙදර සාමයටත් “වදින්නට” ඉඩ ඇත. වගකීමෙන් පානය කරන්න.

 

 

Cover Image Source – booking.com