එක ජොබ් එකක් විතරක් කරල ගොඩ යන්න අමාරුද? එහෙනම් මේ ටිප්ස් කියවලා ජොබ් දෙකක් එකපාර කරන්න

අද කාලෙ තියන විය හියදමුත් එක්ක එක රස්සාවකින් යැපෙන්න බැරි එක ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක්. ඒ වුණත් කරගෙන යන රස්සාවට අමතරව තවත් රස්සාවක් හරි පාර්ට් ටයිම් ජොබ් එකක් හරි කරන්න වෙලාවක් කලාවක් හොයාගන්නත් අමාරුයි. අමාරුවෙන් හරි ඒ විදිහෙ අමතර ජොබ් එකක් පටන් ගත්තොත් වැඩ කටයුතු ගොඩ ගැහිල, අපිව ෆුල් ස්ට්‍රෙස් වෙලා යන අවස්ථාත් තියනවා.

ඒ වුණත් අමතර රස්සාවක් කරන්නම අවශ්‍යනම් අපි කොහොමද ඒ වැඩේට කාල වේලාව හොයාගෙන බැලන්ස් එකේ කරගෙන යන්නෙ? අපි දෙන්නම් ඒකට උදවුවෙන සරළ උපදෙස් ටිකක් ඔයාලට.

 

1. අමතර ජොබ් එක හොඳට හිතලා මතලා තෝරගන්න
Source – giphy.com

මෙතැනදී අමතර ජොබ් එකක් හොයාගැනීමෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එක මුලින්ම හිතන්න ඕනෙ. ඔයාට ඕනෙ ලොකුවට මහන්සි වෙන්නෙ නැතිව වැඩිපුර කීයක් හරි හම්බ කරගන්නද? එහෙමත් නැත්නම් වෙනත් අලුත් ක්ෂේත්‍රයක පළපුරුද්ද ලබල අමතර සුදුසුකමක් ලබාගන්නද කියන එක ගැන හිතන්න ඕනෙ.ඔයාට ඕනෙ වැඩි මහන්සියක් නැතිව අමතර මුදලක් හම්බ කරගන්න නම් ඔයා දැනටමත් නිරත වෙන රැකියා ක්ෂේත්‍රයේම හරි ඔයාට පහසුවෙන්, කැමැත්තෙන් කරන්න පුලුවන් රැකියාවක් හරි හොයාගන්න එක සුදුසු වේවි. වෙනත් ක්ෂේත්‍රයක පළපුරුද්දක් ලබන්න හිතල අමතර ජොබ් එකක් කරන්න හිතනවානම් තරමක් වැඩිපුර මහන්සි වෙන්නටත්, කාලය කැප කරන්නටත් සිද්ධ වේවි.

 

2. ජොබ් දෙක අතර දුර සහ කාලය කළමනාකරණය කරගන්න
Source – italiansmilyface.deviantart.com

රැකියාවල් දෙකක් කරද්දි අනිවාර්යයෙන් මේ දෙකට වෙන වෙනම කාලය වෙන්කරගැනීම හරිම වැදගත්. ඒ වගේම මේ රැකියා දෙක අතර මාරුවෙන එක පුලුවන් තරම් පහසුවෙන් කරන්න පුලුවන් වෙන එක ලොකු වාසියක්. දෙවැනි රස්සාව ගෙදර ඉඳන් කරන්න පුළුවන් එකක් නම් මේක ලොකුවට බලපාන්නෙ නැහැ. ඒ වුණත් දෙවැනි රස්සාවත් ඔෆිස් එකකට ගිහින් කරන එකක්නම් ඒ රැකියා ස්ථානෙට යන්න වැයවෙන කාලය ගැනත් ටිකක් හිතන එක වැදගත්. සෑහෙන කාලයක් මගටම නාස්ති කරගෙන, මහන්සි වෙලා දෙවැනි රැකියා ස්ථානෙට යන්න වෙනවනම් ඒක ඔයාගෙ ජීවිතේ දුෂ්කර කරාවි. ඒ වගේම මේ රස්සාවල් දෙක අතරතුර විවේක කාලයක් තියාගන්න පුලුවන්නම් ඒක අනිවාර්යයෙන් කරන්න. නැත්නම් එක රස්සාවක් ඉවර වෙලා අනිත් අතට අනිත් රස්සාව පටන් ගන්න ගියාම ඔයාව මහන්සි වෙලා, ස්ට්‍රෙස් වෙලා ඔයාගෙ කාර්යක්ෂමතාවයත් අඩුවෙන්න පුලුවන්. මේ ඔක්කොටම වඩා ජීවිතේ එපාවෙන අත්දැකීමක් වෙන්නත් පුළුවන්.

 

3. බොස්ට කියන්නද එපාද?
Source – yourdost.com

රස්සාවල් දෙකක් කරනවා කියන්නෙ කාලය සෑහෙන හොඳට මැනේජ් කරගන්න වෙන වැඩක්. ඒ නිසා එක ජොබක අමතර වැඩක් කරන්න වුණත් ඒකෙන් අනිත් ජොබ් එක හිරවෙන්න පුළුවන්. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගෙ රැකියා ස්ථාන දෙකේ බොස්ලව මේ ගැන දැනුවත් කරල තියන එක. එතකොට ඔයාට පුලුවන් ඔයාගෙ කාල වේලාවන් ඒ අයට දන්වල, අදාල රැකියාවන් වෙනුවෙන් ඔයාට වැය කරන්න පුළුවන් කාලය ගැන ඒ අයව දැනුවත් කරන්න. හැබැයි ඉතින් හැම බොස් කෙනෙක්ම මේ වගේ දේකදි නම්‍යශීලී නොවෙන්න පුළුවන්. දරදඬු බොසෙක් නම් ඔයාට කරන රස්සාවත් එපා කරවන්න පුළුවන්. ඒ නිසා මේ කියන නොකියන තීරණය බොස්ගේ සහ ආයතනයේ තත්ත්වය සළකල බලල, හොඳින් කල්පනා කරලම අරගන්න.

 

4. සතිය කළින් ප්ලෑන් කරන්න
Source – techlicious.com

රස්සාවල් දෙකක් කරනවා කියන එක කරන්නන් වාලෙ කරන්න බැහැ. මොකද සමහරවිට මේ රස්සාවල් දෙකේම යම්කිසි වැඩක් එකම වෙලාවකට ඔයාට යෙදෙන්න පුළුවන්. එතකොට කළින් මේ ගැන දැනුවත් වෙලා හිටියෙ නැත්නම් ඔයාට වෙන්නෙ වැඩ මග ඇරලා නරක නාමයක් අහගන්න. ඒ නිසා රැකියා දෙකේම සතියේ සාමාන්‍ය වැඩ කටයුතු ටික ගැන සති අන්තෙදි ප්ලෑනක් ගහන්න. රස්සාව විතරක් නෙමේනෙ ජීවිතේ, ඒ නිසා ඒ දවස්වල ඔයාට නිරත වෙන්න තියන පෞද්ගලික වැඩ කටයුතු ගැනත් ප්ලෑන් කරගෙන ඉන්න. නොවැළැක්විය හැකි හේතුවක් නිසා හරි රැකියා දෙකේම වැඩක් එකම වෙලාවකට වැටුනොත් ඒ වැඩ දෙක අතරින් ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ දේ තෝරගෙන නිරත වෙන්නටත් වග බලාගන්න. මේ වැඩේදි සතියේ එක එක දවස්වලට ආදාලව ටු ඩූ ලිස්ට් (To Do List) එකක් හදාගන්න එක වැඩ වලට අමතර පහසුවෙක් ගෙනේවි. ටු ඩූ ලිස්ට් හදන්න පුලුවන් ඇප්ස් ඕනෙ තරම් හොයාගන්නත් තියනවනෙ.

 

5. වැඩ මික්ස් කරගන්නෙ බලාගෙනයි
Source – reddit.com

දැන් සමහරු එකම වෙලාවට රස්සාවල් දෙකකම වැඩ මාරුවෙන් මාරුවට කරනවා. ඔෆිස් ගිහිල්ලා පාට් ටයිම් ජොබ් එකේ වැඩ කරන අයත් ඉන්නවා. නොකරම බැරි වෙලාවක කලොත් මිසක් ඒ වැඩේ අපි එතරම්ම අනුමත කරන්නේ නැහැ. එකක් තමයි එක රැකියා ආයතනයකින් ඔයාට මුදලක් ගෙවන්නෙ අදාල කාලය උපරිමයෙන් ඒ අය වෙනුවෙන් වැය කරන එකටයි. එතනදී ඒ කාලය සහ සම්පත් පාවිච්චි කරලා වෙන ආයතනය රැකියාවක් කරන එක එච්චරම හොඳ වැඩක් නෙමෙයි. අනිත් කාරණය තමයි මෙහෙම වැඩ දෙකක් එකපාර කරන්න යන එකෙන් වැරදි වැඩි වෙන්නටත්, ඔයාගෙ කාර්යක්ෂමතාවය අඩු වෙන්නටත් පුලුවන් වීම. ඒ නිසා හැකි හැම වෙලේම රැකියා වැඩ දෙකකට වෙනම කාල වේලාවල් වෙන් කරගෙන කරන එක තමයි වඩාත් හොඳ.

 

6. තමන්ටත් විවේකයක් ලබාගන්න එක අනිවා!
Source – cnn.com

රස්සාවල් දෙකක් කරන එක හරිම ස්ට්‍රෙස්ෆුල් අත්දැකීමක් වෙන්න තියන ඉඩ වැඩියි. අන්න ඒ නිසාම තමයි අඩුම තරමේ සතියට දවසක් හරි, දවසකින් සැළකිය යුතු කොටසක් හරි තමන්ගේ විවේකය වෙනුවෙන් වෙන් කරගන්න එක වටින්නෙ. ඒ වෙලාවට තමන්ගෙ රස්සාවල් වල වැඩ සහමුලින්ම අමතක කරල දාන්නටත් වග බලාගන්න. නැත්නම් ඒ විවේකය කොලිටි එකක් වෙන එකක් නැහැ. ජොබ් වලින් එන ඊමේල්, පණිවුඩ සහ කෝල් වලින් ඈත් වෙලා ඒ කාලය ගෙවන්න බලන්න. එහෙම පණිවුඩ එක්ක ඔයාව සම්බන්ධ කරන පරිගණක, දුරකථන වලින් ඈත් වෙන්න. තමන්ගෙ ජීවිතේට වෙනසක්, සතුටක් එක් කරන, උපරිමෙන් ගෙවන මොහොතක් බවට ඒ විවේක කාලය පත් කරගන්න බලන්න. යහපත් නින්දක් අනිවා ලබන්නත් අමතක කරන්න එපා.

 

7. ජීවිතේ බැලන්ස් එක තියාගන්න
Source – mashable.com

මේක කියන්න ලේසියි කරන්න අමාරුයි වැඩක් තමයි. ඒත් උත්සාහ කරල බැලුවොත් අපිට බැරිවෙන එකක් නැහැ. රස්සාවල් දෙකක් කරනවා කියන්නෙ අපේ පවුලේ අයගෙන් සහ හිත මිතුරන්ගෙන් අපිට සෑහෙන ඈත්වෙන්න සිද්ධ වෙන තත්ත්වයක්. ඒ නිසා හැකි සෑම විටම ඒ අයත් එක්ක සම්බන්ධතාවය පොඩියට හරි තියාගන්න එක වටිනවා. විවේක වෙලාවෙදි ගෙදර අයට පොඩි කෝල් එකක් දෙන්න, කෙටි පණිවුඩයක් යවන්න, යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න අමතක කරන්න එපා. මුහුණට මුහුණ මුණ නොගැහුණත් ඒ අයත් එක්ක ඒ විදිහට හරි සම්බන්ධතාවය තියාගන්න. ශාරීරක සුවතාවය කියන එකත් අනිවා මගහැරෙන සාධකයක් මෙහෙම රස්සාවල් දෙකක් කරද්දි. අන්න ඒ නිසා ලන්ච් බ්‍රේක් එකේදි, තේ වෙලාවෙදි අහල පහල කඩයකටවත් පොඩි වෝක් එකක් දාන්න බලන්න. ඔෆිස් එද්දි ලිෆ්ට් එක වෙනුවට පඩිපෙල පාවිච්චි කරනවා වගේ ටිකක් ඇඟ මහන්සි කරවන විදිහෙ වෙනස්කම් වලටත් යොමුවෙන්න.

 

8. උදවු ගන්න පුළුවන් අයගෙන් උදවු ගන්න
Source – popsugar.com

ඔයා රැකියාවල් දෙකක නිරත වෙනවානම් ඔයාට ඔයාගෙ සැමියාගෙන්/බිරිඳගෙන්, දරුවන්ගෙන්, ගෙදර ඉන්න අයගෙන් අනිවා සහයක් අවශ්‍යයි. ඒ අයට සුළු සුළු ගෙදර වැඩ බෙදා දෙන්න. එළවලු ටිකක් සුද්ද කරල තියන එක, වොෂින් මැෂින් එකකට රෙදි ටිකක් දාන එක, ගේ දොර අස්පස් කරන එක වගේ වැඩ ස්වාමි පුරුෂයට වගේම දරුවන්ටත් කරන්න පුලුවන් දේවල්නෙ. රැකියා දෙකක් කරන කාන්තාවක් නම් ඔයාට පුළුවන් උයන පිහන දේවල් ටිකක් වැඩි ප්‍රමාණ වලින් හදාගෙන ෆ්‍රීසර් කරලා සතියේ දින කිහිපයක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් අහල පහල රසට පිරිසිදුවට කෑම සපයන කෙනෙක් ඉන්නවනම් ඒ අයගෙන් ආහාර මිලදීගන්න.

 

9. අරමුණ තේරුම් ගන්න
Source – executiva.adm.br

ඇයි අපි අමතර රස්සාවක් කරන්නෙ? මොකක් හරි පෞද්ගලික උවමනාවකට මුදලක් එකතු කරගන්නද? එහෙමත් නැත්නම් විය හියදම් සැර නිසා මාසෙ ආදායම වැඩි කරගන්නද? යම්කිසි අමතර සුදුසුකමක් සපුරා ගන්නද?

මේ මොන දේ වෙනුවෙන් අපි රැකියාවල් දෙකක නිරත වුණත්, ජීවිතේ පුරාවටම දවසින් වැඩි කාලයක් වැඩ කරමින්, පෞද්ගලික ජීවිතයට ඇති ඉඩ අඩු කරගනිමින් ජීවත් වෙන එකට අපි එකඟ නැහැ. අමතර රැකියාවක් කරන එකෙන් ඔයා ඉටු කරගන්න හදන අරමුණ ඉටු කරගන්නා තෙක් විතරක් ඒ රැකියාවෙ නිරත වෙන එක වඩාත් සුදුසු බව තමයි අපේ හැඟීම. නැත්නම් ඔයත් ජීවිත රේස් එක දුවලා අන්තිමට නටපු නැටුමකුත් නැතිව බෙරේ පළුවකුත් නැතිව හතිවැටුණ තවත් එක්කෙනෙක් වෙන්න ඉඩ තියනවා. සුදුසුකම් සපුරාගන්න, පළපුරුද්ද ලබාගන්න, ඒ අනුව වටිනාකම හදාගන්න. ජීවිතේ බැලන්ස් එක තියාගන්න ගමන්ම වෘත්තීයමය වශයෙන් සාර්ථක පුද්ගලයෙක් වෙන්න උත්සාහ කරන්න…

 

 

Cover Image Source – staffingtalk.com