තහනම් රටේ කැරලිකාරයෝ – 1982 ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තහනම් ක්‍රිකට් සංචාරයේ වගතුග

1982 අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් බොහොම සුවීශේෂී වගේම ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පිරිච්ච අවුරුද්දක්. 82 පෙබරවාරියෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයත් එක්ක තමන්ගෙ මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්න ලැබෙනව. ඒ අවුරුද්දෙම ඔක්තෝම්බරයෙදි එවකට හිටපු ශ්‍රී ලංකා නායකයා ඇතුළු තවත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසකට අවුරුදු 25ක තරඟ තහනමක් පැණවෙනවා. ඒ ඒ වෙනකොට වර්ණභේදවාදය නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරල තිබ්බ දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක නියැලීම හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බලවත් පහරක් එල්ල කරමින්, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වසර ගණනකට ආපස්සට ඇද්ද ඒ සිදුවීම ගැනයි මේ ලිපිය ලියැවෙන්නේ.

 

1. දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම් වුණ 1970 අවුරුද්ද
Source – cricketcountry.com, independent.co.uk

1948 සිට 1990 විතර වෙනකම් වකවානුව කියන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තදින්ම ක්‍රියාත්මක වුණු කාල සීමාවක්. මේ වර්ණභේදවාදය ක්‍රීඩාවටත් පැතිරෙනවා. කළු ජාතික ක්‍රීඩකයන්ට දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දකුණු අප්‍රිකාව ක්‍රිකට් තරඟ පවත්වන්න තීරණය කරන්නෙත් සුදු ජාතික කණ්ඩායම් එක්ක විතරයි. මේ ප්‍රශ්න නිසා 1970 දි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තහනමට ලක් කරනවා. මේ තහනම නිසා ඒ වෙද්දි ප්‍රබල කණ්ඩායමක් හැටියට හිටපු දකුණු අප්‍රිකාවට වදින්නේ මරු පහරක්. 1970 පටන් ගත් මේ තහනම නිමා වෙන්නෙ 1992 අවුරුද්දෙදියි. 70 ගණන් වල දකුණු අප්‍රිකාවේ හිටපු ශ්‍රේෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ග්‍රැහැම් පොලොක් සහ බැරී රිචර්ඩ්ස්ගේ ටෙස්ට් දිවිය අතරමගදී නතර කරවන්නටද මේ ක්‍රිකට් තහනම සමත් වෙනවා.

 

2. Rebel Tours – තහනම් දකුණු අප්‍රිකාවේ කැරළිකාර සංචාරකයෝ
Source – truefinder.org

ක්‍රිකට් තහනමත් සමග ජාත්‍යන්තර තරඟ නොලැබීමෙන් දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කඩා වැටීමකට ලක්වීම වළක්වන්න ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සාහ කරනවා. මේකට විසඳුමක් හැටියට, ඉහල ගෙවීම් කරමින් වෙනත් රටවල කණ්ඩායම් තමන්ගෙ රටේ සංචාරයට පොළඹවන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ උත්සාහය නිසාවෙන් 1982 ඉඳල 1990 වෙනකම් ක්‍රිකට් සංචාර 7ක් සංවිධානය කරන්න ඔවුන් සමත් වෙනවා. ක්‍රිකට් තහනම් දේශයක පැවැත්වුණ මේ තරඟාවලි Rebel Tours එහෙමත් නැත්නම් කැරළිකාර සංචාර හැටියටයි හැඳින්වුනේ.

ඒ විදිහට දකුණු අප්‍රිකාවේ කැරළිකාර සංචාරයක නිරත වෙච්ච පළමු කණ්ඩායම වෙන්නේ 1982 මාර්තුවෙදි ආපු එංගලන්ත කණ්ඩායමයි. ග්‍රැහැම් ගූච් ගේ නායකත්වයෙන් යුතුව ආපු 12 දෙනෙක්ගෙන් යුක්ත මේ කණ්ඩායමට ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයින් 11 දෙනෙක්ම ඇතුළත් වෙලා තිබ්බා. මුදල් හින්දා මේ සංචාරයේ නිරත වෙච්ච එංගන්ත ක්‍රීඩකයින් 12 දෙනාව ඒ කාලෙ හඳුන්වලා තියෙන්නෙ Dirty Dozen කියලයි. තහනම් සංචාරය ගිය එංගලන්ත ක්‍රීඩකයින් සියලු දෙනාට වසර 3ක ක්‍රිකට් තහනමක් එංගලන්තය විසින් පණවනව. ඒ වෙද්දි ලෝකේ වැඩිම ලකුණු ලබාගෙන හිටපු පිතිකරුව වෙච්ච ජෙෆ්‍රි බෝයිකොට්ගේ ටෙස්ට් දිවියත් මේ සංචාරය නිසා නිමාවෙනව.

 

3. Arosa Sri Lanka – කැරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායම
Source – cricketique.wordpress.com, dentonwestcc.leaguerepublic.com

1982 ඔක්තෝබරයෙදි 14 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් වැඩි සද්දයක් බද්දයක් නැතිවම දකුණු අප්‍රිකාවට ඇතුළත් වෙනවා. පළමු ටෙස්ට් තරඟයට නායකත්වය සපයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වීරයෙක් වෙලා හිටපු බන්දුල වර්ණපුර තමයි මේ කණ්ඩායමට නායකත්වය සපයන්නෙ. මේ සංචාරය සැළසුම් කරපු තවත් පුද්ගලයෙක් වුණු ටෝනි ඕපාත තමයි කණ්ඩායමේ කළමණාකරු හැටියට ක්‍රියා කරන්නෙ. ලංකාවෙන් බිහිවෙච්ච දක්ෂතම වේග පන්දු යවන්නෙක් වුණ ටෝනි ඒ වෙනකොට ටෙස්ට් ක්‍රිකට් වලින් සමු අරන් නෙදර්ලන්තයේ ක්‍රීඩා සමාජයකට ක්‍රිකට් ක්‍රීඩා කරමින් තමයි ඉන්නෙ. ඔහු ක්‍රීඩකයෙක් හැටියටත් මේ තරඟාවලියට ක්‍රීඩා කරනවා. ඇරෝසා ශ්‍රී ලංකා (AROSA Sri Lanka) නමින් හඳුන්වපු ශ්‍රී ලංකා කණ්ඩායමට නම හැදෙන්නෙත් ටෝනි ඕපාතගේ නමේ මුලකුරු වන ARO (Anthony Ralph Opatha) යන අකුරුත් දකුණු අප්‍රිකාවෙ නියෝජනය වෙන්නට SA කියන අකුරුත් යොදාගෙන තමයි.

 

4. තහනම් සංචාරයට ඇතුළත් වූ කණ්ඩායම
Source – cricket.yahoo.com, dbsjeyaraj.comarchives.sundayobserver.lk

බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවේ සංචාරය කරපු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබලම කණ්ඩායමක් හැටියට හඳුන්වන්න බැරි වුණත්, ඒ වෙද්දි ටෙස්ට් තරඟ කීපයකට සහභාගි වෙලා හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ කණ්ඩායමට ඇතුළත් වුණා. ලංකාවෙන් බිහිවුණ දක්ෂතම දඟ පන්දු යවන්නෙක් වුණ අජිත් ද සිල්වා වගේම දක්ෂ කඩුළු රකින්නෙක් වුණ මහේශ් ගුණතිලකගේත් ක්‍රිකට් දිවිය තරඟ කිහිපයකට විතරක් සීමා කරන්න මේ තරඟාවලිය සමත්වුණා. ඒ වගේම ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දායකත්වයක් දක්වන්නට තිබ්බ අනුර රණසිංහ ඇතුළු තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගේ ක්‍රීඩා දිවියද මේ නිසාම සමාප්ත වුණා. මේ කණ්ඩායමට ක්‍රීඩා කරපු ෆ්ලේවියන් අපෝන්සු 1996 ලෝක කුසලානෙදි නෙදර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කලා සමහරවිට ඔබට මතක ඇති.

පහත දැක්වෙන්නේ 82 දකුණු අප්‍රිකා සංචාරයට සහභාගි වුණ කණ්ඩායමයි-

බන්දුල වර්ණපුර (නායක), ටෝනි ඕපාත (කළමණාකරු/ක්‍රීඩක), ෆ්ලේවියන් අපොන්සු, අජිත් ද සිල්වා, හේමන්ත දේවප්‍රිය, ලලිත් කළුපෙරුම, මහේශ් ගුණතිලක, බන්දුල ද සිල්වා, බර්නාඩ් පෙරේරා, ලන්ත්‍රා ප්‍රනාන්දු, නිර්මාල් හෙට්ටිආරච්චි, අනුර රණසිංහ, සුසන්ත කරුණාරත්න, ජෙරිල් වවුටස්

 

5. දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් සංචාරය මග හැරියාද?
Source – archives.sundayobserver.lk, cricketcountry.com

දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය හීන වෙන්නටත්, සමබරතාවය ගිලිහෙන්නටත් එක හේතුවක් වෙලා තිබ්බෙ දක්ෂතම පිතිකරුවන් දෙන්නෙක් වුණ රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස්ගේ අඩුවයි. රෝයි සහ දුලිප් යන දෙදෙනාම මේ තරඟාවලියට සහභාගි වන්නට හිටියත් හරි හැටි අනාවරණය නොවෙන යම් යම් කරුණු නිසා අවසාන මොහොතේදී මේ දෙන්නා ඒ සංචාරයට සහභාගි වීම වැළකී තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ දෙදෙනා එක්ක සාකච්ඡා කරල මේ අය දකුණු අප්‍රිකා යන එකෙන් වළක්වගත්තා කියල වගේම ඒ දෙදෙනාගේ පාස්පෝට් කණ්ඩායම් කළමණාකරු විසින් ලබාගැනීම නිසා ඒ ගමන වැළකුණා කියල මතයක් තියනවා. කැරළිකාර කණ්ඩායමට ක්‍රිකට් තහනම පැණෙවුවාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සහ උපනායක ධූර හිමිවුණෙත් දුලිප් මෙන්ඩිස්ට සහ රෝයි ඩයස්ටයි.

 

6. එක ක්‍රීඩකයෙක්ට ඩොලර් 30,000ක්
Source – wikipedia.org

දකුණු අප්‍රිකා සංචාරයට සහභාගි වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරල තිබ්බේ ටෙස්ට් තරඟ 5කට විතරයි. මුදල් හදල් අතින් වුණත් ක්‍රීඩකයන්ට ලොකු වාසිදායක තත්ත්වයක් නෙමෙයි තිබිල තියෙන්නෙ. කැරළිකාර සංචාරයට සහභාගි වුණ බහුතරයක් ක්‍රීඩකයින් තමන්ගෙ ක්‍රිකට් දිවියෙ අවසාන භාගයෙ හිටපු උදවිය. සමහරුන්ට ක්‍රීඩාවෙන් කැපිළි කෙටිලි පවා තිබිල තියනවා. තවත් අයට ආර්ථික ප්‍රශ්න. මේ හැම දෙයක්ම සළකලා බලලා තමයි ඉහල මුදලක් ලැබෙන දකුණු අප්‍රිකා සංචාරයට අපේ ක්‍රීඩකයින් පෙළඹිලා තියෙන්නෙ. සංචාරය නිමා වුණාට පස්සෙ ක්‍රිකට් තහනමට ලක්වුණ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඒ ලැබුණු මුදල් වලින් ගෙවල් දොරවල් හදාගත්ත බවයි බන්දුල වර්ණපුර මහතා කියන්නෙ.

 

7. තරඟාවලියේ ජය පරාජය විසඳුනේ කොහොමද?
Source – pinimg.com

මේ තරඟාවලියෙදි අපේ කණ්ඩායම දකුණු අප්‍රිකාව එක්ක නිල නොලත් ටෙස්ට් තරඟ දෙකකුත් එක්දින තරඟ 4කුත් ක්‍රීඩා කරනවා. ඊට අමතරව විවිධ ප්‍රාන්ත කණ්ඩායම් එක්කත් තරඟ කිහිපයක්ම ක්‍රීඩා කරනවා. ප්‍රාන්ත කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරපු තරඟ දෙක තුනක් ජය පරාජයෙන් නිමා වීම හැරෙන්නට අනෙකුත් තරඟ සියල්ලකම පාහේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වෙන්නේ දරුණු පරාජයන්. ශ්‍රී ලංකාව වෙනුවෙන් බර්නාඩ් පෙරේරා ටෙස්ට් ශතකයක් වාර්තා කරන්නටත්, අනුර රණසිංහ එක්දින ශතකයක් වාර්තා කරන්නටත් සමත් වෙනවා. ඒ දෙදෙනා හැරුණහම ෆ්ලේවියන් අපොන්සු සහ ජෙරිල් වවුටස් පිතිකරණයෙන් යම් පමණක දස්කම් දක්වන්න සමත් වෙනවා. ලලිත් කළුපෙරුම එක් ඉනිමකදී ලබාගත් කඩුලු 5ක් හැරෙන්නට පන්දු යවන්නන් සාර්ථක වෙන්නේම නැති තරම්. දක්ෂ පන්දු යවන්නෙක් වූ අජිත් ද සිල්වා තරඟාවලියේ දැඩි පීඩනය නිසාදෝ ඉතාම දුර්වල පන්දු යැවීමක නිරත වූ බවටයි අසන්නට ලැබෙන්නේ. ග්‍රැහැම් පොලොක්, ජිමී කුක් සහ පීටර් කර්ස්ටන් වැනි දකුණු අප්‍රිකාණු පිතිකරුවන් දිගට හරහට විශාල ලකුණු ප්‍රමාණ රැස් කරන්න සමත් වෙනවා.

 

8. කැරළිකරුවන් නැවත ලංකාවට
Source – groundviews.org

කැරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට මවු රටේදී මෙන්ම ජාත්‍යන්තරයෙනුත් එල්ල වී තිබුණේ දැඩි අප්‍රසාදයක්. තහනම් දකුණු අප්‍රිකාණු සංචාරය නිසා යම් තරඟ තහනමක් තමන්ට පැණවේවිය කියලා කැරළිකාර කණ්ඩායමේ ක්‍රීඩකයින් දැනගෙන හිටියත් ඔවුන්ට ලැබෙන්නේ ඔවුන් හිතුවාට වඩා බරපතල දඬුවමක්. ඒ වසර 25ක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි වීම තහනම් කිරීමයි. පස්සෙ කාලෙක මේ තහනම අවුරුදු 8කට 9කට අඩු කලත් ඒ වෙද්දී බොහොමයක් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කරන වයසත් ගෙවී ගොස් හමාරයි. තහනම් සංචාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ චෝදනා එල්ල වුණේ එවක හිටපු නායක බන්දුල වර්ණපුරටත්, කළමණාකරු ටෝනි ඕපාතටත් තමයි. එහෙම වුණත් ලොකු මුදලක් ගෑවුණු මේ සංචාරය සංවිධානය කිරීම පිටුපස තවත් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වගේම දේශපාලන බලවතුන්ගේ හස්තයනුත් තිබුණ බවයි ටෝනි ඕපාත මහතා සඳහන් කරන්නේ.

 

1982 ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව 1983 වසරේදී කැරළිකාර බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමක්ද දකුණු අප්‍රිකාවේ සංචාරය කරනු ලැබුවා. 1990 වර්ෂය වෙනකම් දකුණු අප්‍රිකාවේ මේ කැරළිකාර තරඟාවලි පැවැත්වුණා. 1991 වර්ෂයේදී ඔවුන්ට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරම හිමිවුණා. 82 කැරළිකාර සංචාරයට සම්බන්ධ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දීර්ඝ තහනම් වලට ලක්වුවත්, පසු කාලීනව ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරු හොබවන්නටද ඒ අය අතුරින් බොහෝ දෙනෙකුට අවස්ථාව හිමිවුණා.

 

 

Cover Image Source – he-saleroom.com, cricketcountry.com, mybroadband.co.za