වැස්ස දවසක පෙම්වතිය එක්ක එකතු වෙලා බලන්න කියාපුම හොලිවුඩ් බොලිවුඩ් රොමෑන්ටික් මූවීස් 20ක්

වැස්ස දවසක නිවාඩු පාඩුවේ ඉන්නවනම් දවස ගත කරන්න පුලුවන් හොඳම විදිහක් තමයි සෝපාවේ සනීපෙට ගුලි වෙලා ලස්සන චිත්‍රපටයක් බලන එක. ෆිල්ම් හරි ටීවී සීරීස් හරි මැරතන් එකක් අදින්නත් මේ වගේ දවස් උපරිමෙන් ගැලපෙනවා. එහෙම උනත්, වැස්ස දවසක තියන සනීපදායක හැඟීමට වඩාත්ම ගැලපෙන්නෙ රොමෑන්ටික් මූවීස් කියලයි අපිට හිතෙන්නෙ. අන්න ඒ නිසා අපි මේ ගේන්නෙ ඒ විදිහෙ ආදරණීය චිත්‍රපටි ලැයිස්තුවක්. හොලිවුඩ් වගේම බොලිවුඩ් ආදර කතා රැගත් මේ චිත්‍රපට සෙට් එක වැස්ස දවසක තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක එකතු වෙලා රස විඳින්න කියාපු චිත්‍රපට ටිකක්.

ලැයිස්තුව කියවන්න කලින් තව දෙයක් මතක්ක කරන්න ඕනෙ. මෙතන අපි කියලා තියෙන්නේ ලෝකේ තියන හොඳම රොමෑන්ටික් මූවීස් ගැන නම් නෙමෙයි. වැස්ස දවසකදි බලන්න පුලුවන් මූඩ් එකට නියමෙට ගැලපෙන චිත්‍රපට එකතුවකුයි මේ තියෙන්නෙ. මේකට එකතු කරන්න පුළුවන් තව චිත්‍රපට තියනවනම් අපිට ඒ ගැන කමෙන්ටුවකින් සඳහන් කරන්න.

 

1. Eternal Sunshine of the Spotless Mind (2004)
Source – i-d.vice.com, moviepostershop.com

වෙනස්ම විදිහේ ආදර කතාවක් මේක. ඒ වගේම සීරියස් පෙම්වතා චරිතයකට ගැලපෙනවයි කියල නොහිතෙන ජිම් කේරි නියම රංගනයක නියැලෙන ෆිල්ම් එකක්. ජිම් කේරිගෙ පෙම්වතිය හැටියට මේ ෆිල්ම් එකේ ඉන්නේ කේට් වින්ස්ලට්. කතාව ස්පොයිල් වෙන නිසා වැඩිපුර විස්තර මම කියන්න යන්නෙ නැහැ. මෙහෙම හිතන්නකො. අහම්බෙන් මුණ ගැහෙන ජෝඩුවක් එකිනෙකාට ගොඩක් ළං වෙනවා. හැබැයි ටිකක් දුර දෙන්නගෙ සම්බන්ධතාවෙ ඇදෙනකොට දෙන්නට තේරෙනවා දෙන්නට දෙන්නා මීට කලිනුත් සමීපව හිටපු දෙන්නෙක් බව. ඒක ආත්මගත බැඳීමක් නම් නෙමෙයි, ඊට වඩා ටිකක් වෙනස් විදිහේ සංකීර්ණ සිදුවීමක්…

 

2. Dil Chahta Hai (2001)
Source – india.com, filme-indiene.xhost.ro

හින්දි සිනමාවට ස්ටයිල් එක ගෙනාපු, බොලිවුඩ් ආදර කතා රැල්ලට වෙනසක් ගෙනාපු ෆර්හාන් අක්තාර්ගේ විප්ලවකාරී චිත්‍රපටයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. හොඳම යාළුවෝ තුන් දෙනෙක්ගෙ ජීවිත කතාව අතරේ හමුවෙන ආදර කතා කීපයක් මේ චිත්‍රපටයෙන් අපිට පෙන්නනවා. බඩ අල්ලන් හිනා යන සීන් වගේම, හිතට වදින සීනුත් රැසක් තිබ්බ චිත්‍රපටයක්. එහෙම සැරටම හිතට වදින සීන් එකක් තමයි ජනාකීර්ණ නගරයක් මැද විරහ වේදනාවෙන් තනිවෙලා ඉන්න අමීර් ඛාන්ව පෙන්නන “තන්හායී” සින්දුව.

 

3. 50 First Dates (2004)
Source – imdb.com, hauntedtheater.net

හෙන්රි කියන සෙල්ලක්කාර තරුණයගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ ලූසි කියන තරුණියව හම්බුණාට පස්සෙයි. හා හා පුරා කියල ලූසිත් එක්ක කතා කරල එයාට ළං වුණාට මොකද ඊළඟ දවසේ ලූසිව හම්බුවෙන්න ගියාම ලූසිට හෙන්රිව මතක නෑ. බලන් ගියාම ලූසි කියන්නෙ ෂෝට් ටර්ම් මෙමරි ලොස් වලින් පෙළෙන, එහෙමත් නැත්නම් කෙටි කාලීන මතකයක් විතරක් තියන තරුණියක්. එහෙමයි කියලා හෙන්රි ගේම අතාරින්නෙ නෑ. හැම අලුත් දවසකම ලූසිව මුණ ගැහිලා නැවත නැවතත් එයත් එක්ක සමීප වෙන්න උත්සාහ කරනවා.

ඇඩම් සැන්ඩ්ලර්ගෙ චිත්‍රපට අතරින් අපේ ප්‍රියතම චිත්‍රපටයක් තමයි මේ “50 ෆස්ට් ඩේට්ස්” චිත්‍රපටය…

 

4. Dilwale Dulhania Le Jayenge (1995)
Source – cinematerial.com, dailymotion.com

“ජා සිම්රන් ජා… ජීලේ අප්නී සින්දගී”

දිල්වාලේ දුල්හනියා බලල නැති කෙනෙක් ලංකාවෙ හොයාගන්නවත් ඉන්නවද කියල අපිට සැකයි. ඒ නිසා අම්රිෂ් පූරි විසින් කියන ඉහත දෙබස සහිත සීන් එක අනිවා දිල්වාලේ දුල්හනියා බලපු කෙනෙක්ගේ මතකෙට නැගෙන්න ඕනෙ. DDLJ කියන්නෙ නැවත නැවත බැලුවාය කියල රසය අඩුවෙන චිත්‍රපටයක් නෙමෙයි. අන්න ඒ නිසායි අපි මේක අපේ ලැයිස්තුවට ඇතුළත් කරන්නේ.

 

5. Natural Born Killers (1994)
Source – cover.box3.net, amazon.com

බැලූ බැල්මට තක්කාලි සහ බෝල්ට් ඇණ වගේ පේනවද? හදවත කිතිකවන ආදර කතා අස්සේ ටැරන්ටිනෝ ලියපු, ඔලිවියර් ස්ටෝන් අධ්‍යක්ෂණය කරපු මේ අතිශය ප්‍රචණ්ඩකාරී චිත්‍රපටය අහවල් එකක් කරනවාද කියල හිතුනද? මේකනෙ මල්ලිලා නංගිලා සීන් එක. දැන් කාලෙ ගැහැණු ළමයි අතර වුණත් බහුතරයක් ඉන්නවා කපාගෙන කොටාගෙන යන ෆුල් ඇක්ෂන් ඇඩ්වෙන්චරස් චිත්‍රපට වලට ප්‍රිය කරන. අන්න ඒ විදිහෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම තෝරාගැනීමක් තමයි මේක. මිකී සහ මැලොරි කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. හැබැයි ඒ ආදර කතාව දිග ඇරීගෙන යන ගමන් මේ දෙන්නා අතින් මිනිස්සු පණස් ගණනකුත් මිය පරලොව යැවෙනවා. මොකද? ඒ දෙන්නා මිනී මරුවොනෙ මෙයාලා…

 

6. ආශිකී 1 සහ 2
Source – santabanta.com, imdb.com, pinterest.com

රාහුල් රෝයි සහ අනූ අග්ගර්වාල් රඟාපාපු ආශිකී චිත්‍රපටයත්, ආදිත්‍ය රෝයි කපූර් එක්ක ශ්‍රද්ධා කපූර් රඟපාපු ආශිකී 2 චිත්‍රපටයත් වැහි දවසක පෙම්වතුන්ට තනිවෙලා බලන්න කියාපු චිත්‍රපට දෙකක් තමයි. ලවු නම් ලවු, හිතට දැනෙන සින්දු නම් සින්දු. චිත්‍රපටි දෙකම එක පෙළට බලන්නත් පුළුවන්. චිත්‍රපටි දෙක බලන්න වෙලාවක් නැත්නම් මේ දෙකේ සින්දු සෙට් එක ඇහුවත් ඇති ආදර හැඟීම් වලින් හිත උණුසුම් කරන්න.

 

7. Before Sunrise (1995)
Source – imdb.com, movieposter.com

බිෆෝ සන්රයිස් කියන්නේ විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් වගේම සිරාම ලවු ස්ටෝරියක් කියල කියන්න ඕනෙ. හැබැයි එකක්. මේ චිත්‍රපටය රස විඳින්න නම් සෑහෙන ඉවසීමකින් චිත්‍රපට බැලීමේ හැකියාවක් තියෙන්න ඕනෙ. ජීවිතේ මුල් වරට අතරමගකදී හමුවෙන යුවලක් අතර ඇතිවෙන ආදරණීය බැඳීමක් තමයි මේ ෆිල්ම් එකෙන් දිග හැරෙන්නේ. කොයි තරම් සමීප වුණත් පහුවදා උදේට ඒ දෙන්නට දෙන්නගෙන වෙන් වී යන්න සිද්ධ වෙනවා. දෙන්නා එකට ගත කරන කෙටි කාලය කොයි විදිහට ගත කරයිද? දෙදෙනා වෙන්වී යයිද?

බිෆෝ සන්රයිස් කියන්නෙ ගොඩක්ම දෙබස් මතින් ගොඩනැගෙන චිත්‍රපටයක්. හැබැයි එහෙම කියලා බලන්න කම්මැලි චිත්‍රපටයක් නම් නෙමෙයි. මේ චිත්‍රපටයේ තව කොටස් දෙකක් තියනවා Before Sunset සහ Before Midnight නමින්.

 

8. Dil Ka Rishta (2003)
Source – youtube.com/Dil Ka Rishta 2003 Hindi Movie Watch Online, bollywood-ish.blogspot.com

තමන්ගෙ ආදරණීය සැමියාගෙ මරණයට වගකිව යුතු පුද්ගලයා එක්ක නොදැනීමට ආදරයෙන් බැඳෙන්න සිද්ධ වුණොත්? එහෙම ආදරයකට සාර්ථක වෙන්න පුළුවන්ද? ඒ ආදරය වරදක්ය කියලා දොස් පවරන්න ඕනෙද?

රේටින්ග් අතින් එතරම් ඉහල නැති වුණත්, ටිකක් බොළඳ පහේ චිත්‍රපටයක් කියලා හිතෙන තැන් තිබ්බත්, වැහි දවසකට බලන්න තෝරාගන්න පුළුවන් හොඳම ආදර කතාවක් තමයි දිල් කා රීශ්තා කියන්නෙ. ලස්සන සින්දු රැසකුත් තියනවා…

 

9. A Walk to Remember (2002)
Source – tunefind.com, amazon.com

2000 ගණන් වලදි අවුරුදු විසි ගණන් වලට එළඹෙමින් හිටපු කොල්ලො කෙල්ලො අතර පිස්සුවක් වගේ පැතිරිලා ගියපු චිත්‍රපටයක් තමයි මේ. ඒ කාලෙ මේ ෆිල්ම් එක බලලා නැත්නම් සමාජෙන් කොන්වෙන සයිස් සීන් එකක් තිබුණෙ. දඩබ්බර ලැන්ඩන් කාටර් සහ නිහඬ චරිතයක් වන ජේමි සලිවන් අතර බිඳෙන් බිඳ ආදරයක් ඇතිවෙන්න පටන් ගත්තත් ජේමිගේ නිහඬ ජීවිතය පිටුපස්සේ සැඟවිලා තියෙන්නෙ ලැන්ඩන් හීනෙකින්වත් නොසිතන රහසක්.

ලස්සන ආදර කතාවක්, ලාබාල තරුණ පෙම් යුවලකට ගැලපෙනම චිත්‍රපටයක් මේක.

 

10. Hum Dil De Chuke Sanam (1999)
Source – imdb.com, wikipedia.org

ඓශ්වර්යා සහ සල්මාන් ඛාන් කියන සුන්දරම පෙම් යුවළගේ රංගනයක් රැගත් මේ චිත්‍රපටයක් අපි ඉහලින්ම රෙකමන්ඩ් කරනවා. මේකෙ අජේ දේව්ගන්ගේ ඇක්ටිනුත් නියමයි. බොහෝම සුන්දර වගේම දුක්බර සිදුවීම් එක්ක දිගහැරෙන ආදර කතාවක්. තමන් විවාහපත් වුණ බිරිඳ වෙනත් කෙනෙක් එක්ක තදින් ආදරයෙන් බැඳුණු තැනැත්තියක් කියල දැනගන්න සැමියා කරන්නෙ තමන්ගෙ බිරිඳව ඇගේ පෙම්වතා එක්ක එකතු කරන්න හිතන එක. එහෙම හිතාගෙන යන ගමන අතරතුර මේ තිදෙනාගේම ජීවිත වෙනස් වෙන සිදුවීම් රැසක් සිද්ධ වෙනවා. බොහෝම හැඟීම්බර අවසානයක් කරා දිවෙන චිත්‍රපටයක් මේක.

 

11. The Notebook (2004)
Source – wikipedia.org, beta.latimes.com

රයන් ගෝස්ලින් සහ රේචල් මැක්ඇඩම්ස් රඟන නෝට් බුක් කියන්නෙ සුන්දර ආදර අන්දරයක්. හිරිමල් යෞවනේ ආදරය එතකින්ම නිමා නොවෙන බව මතක් කරන චිත්‍රපටයක්. කතාව පටන් ගන්නෙ වැඩිහිටි නිවාසයකින්. වයෝවෘධ ඩියුක් විසින් නෝවා සහ ඇලීගෙ ආදර කතාව ගැන මතකය අහිමි වෙමින් යන වයෝවෘධ කතකට කියන කතාවක් විදියට. නෝව කියන්නෙ ජීවිතේ බරක් පතලක් නැති තරුණයෙක්. ඇලී හැමිල්ටන් යමක් කමක් තියෙන පවුලක දඟකාර යුවතියක්. මේ දෙන්න පෙමින් බැඳෙන්නෙත් සෙල්ලක්කාර විදියට. මේ ගැන කණ වැටුන ඇලීගෙ දෙමව්පියන් ඇයව ඒ ගමින් පිටමන් කරල එක්ක යනව. නෝව තමන්ගෙ ආදරේ වෙනුවෙන් ඇයට හැමදාම ලියන ලිපි ඇලීගෙ මව සඟවා තබනව. ඒත් ආදරේ හංගන්න පුළුවන් කාටද? කාල පරාස කීපයකට මාරු වෙමින් යන මේ කතාවේ අවසානය ආදරේ නාමයෙන් ඇසට කඳුලක් එක් කරන්න සමත්.

 

12. Veer-Zaara (2004)
Source – pinterest.com, youtube.com/Veer-Zaara (2004) Full Movie

ආදර කතා රැගත් චිත්‍රපට කිවුවහම ඉතින් ෂාරුක් ඛාන්ගේ නම තියන චිත්‍රපටි ඉදිරියට එන එක වළක්වන්න බැරි කාරණයක්. ෂාරුක් රඟපාපු හිතට වදින ආදර කතාවක් තියන වීර් සාරා චිත්‍රපටයත් මේ ලැයිස්තුවට එකතු නොකරගෙන බැරි චිත්‍රපටයක්. මේක ඉන්දු – පකිස්ථාන ආදර කතාවක්. වසර විසි ගණනක් පකිස්ථානයේ සිරගතව ඉන්න ඉන්දීය ගුවන් නියමුවෙක්ගේ ජීවිත කතාව සොයායන පකිස්ථානු මාධ්‍යවේදිනියක් විසින් ඔහුගේ ආදර කථාව හෙළිකරගනු ලබනවා. ඇගේ එකම අභිප්‍රාය වන්නේ දශක ගණනාවක් තිස්සේ එකිනෙකා නොදැක වියපත් වෙමින් යන මේ පෙම් යුවල එක් කරන්නටයි. දේශ සීමා, ජාති භේද තියා කාලයටවත් අකා මකා වෙන් කරන්න බැරි ආදරය ගැන කියවෙන සුන්දර, හැඟීම්බර චිත්‍රපටයක් මේක. ෂාරුක් ඛාන්ට අමතරව ප්‍රීති සින්ටා සහ රාණි මුඛර්ජි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

 

13. Notting Hill (1999)
Source – imdb.com, sky.com

ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගත කරන තරුණයෙක්ට ලෝකයේ ඉන්න සුන්දරම තරුණිය සහ ජනප්‍රියම චිත්‍රපට නිළිය එක්ක ප්‍රේමයෙන් බැඳෙන්න සිද්ධ වුණොත් ඒක කොහොමට තියෙයිද? ඒ ගැන හිතාගන්න නම් ඔයාලා නොටින්ග් හිල් චිත්‍රපටය බලන්නම වෙනවා. හාස්‍යය සහ ආදරය කැටිවුණ හරිම ලස්සන විදිහට ගලාගෙන යන ආදර කතාවක් මේකත්. ජුලියා රොබර්ට්ස් සහ හියු ග්‍රාන්ට් තමයි ප්‍රධාන නළු නිළි දෙපළ.

 

14. Dil (1990)
Source – imdb.com, movies-counter.info

මධුරි ඩික්සිත් එක්ක අමීර ඛාන් රඟපාපු දිල් චිත්‍රපටය කියන්නේ 90 ගණන් වල ලංකාවෙත් අතිශයින්ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්. මේක සින්දුත් හරිම ෆේමස්. පාසැලේ වෛරක්කාරයො දෙදෙනෙක් ආදරවන්තයින් බවට පත්වෙන හැටිත්. වෙනස් සමාජ තල දෙකක ජීවත් වෙන මේ පෙම්වතුන්ගේ ජීවිත වලට කඩා පාත්වෙන අවහිර බාධකත් එක්ක තමයි මේ චිත්‍රපට කතාව දුවන්නෙ. වට්ටෝරුගත බොලිවුඩ් ආදර කතාවක් වුණත් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් මේක.

 

15. Love Actually (2003)
Source – weheartit.com, zuts.wordpress.com

ලවු ඇක්චුවලි කියන්නෙ එක ආදර කතාවක් නෙමෙයි. ආදර කතා අටක එකතුවක්. නත්තල් සමයකදී දිග හැරෙන මේ කතාවෙන් එකිනෙක හරහා දිවයන, එකකට එකක් වෙනස් ආදර කතා අටක් අපිට පෙන්නනවා. වැස්ස දවසක තමන්ගෙ ආදරවන්තිය හෝ ආදරවන්තයා එක්ක එකතු වෙලා අතරමං වෙන්න පුලුවන් ලස්සනම ලස්සන ආදර කතන්දර රැගත් මේ චිත්‍රපටයත් අනිවා ඔයාලගෙ ලිස්ට් එකට එකතු කරගන්න.

 

16. Rockstar (2011)
Source – imdb.com, farnazfever.com

ජෝර්දාන් කියන්නෙ සංගීත පිස්සෙක්. හොඳම රොක් සංගීත ශිල්පියෙක් වෙන එක ඔහුගෙ හීනයක්. අසාර්ථක උත්සහ කීපෙකින් කළකිරිල ඉන්න ඔහුට උපදෙසක් ලැබෙනව. මිනිස්සුන්ට දැනෙන විදියට ගායනා කරන ගායකයෙක් වෙන්න අවශ්‍ය නම් ආදරයේ වේදනාව එහෙමත් නැත්නම් විරහව විඳින්න ඕනෙ කියල. ඉතින් ගායක හීනයක් කරපින්නන් ආදරයේ වේදනාව හොයන ඔහුට ඒ වේදනාව ලැබෙන්නෙ දරාගන්නම අමාරු විදියට. රොක්ස්ටාර් රන්බීර් කපූර්ගෙ විශිෂ්ට රංගනයෙන් හරි අපූරුවට ඔපවත් වෙනව.

 

17. Sleepless in Seattle (1993)
Source – hellogiggles.com, imdb.com

ටොම් හෑන්ක්ස් සහ මෙග් රයන් කියන්නේ 90 ගණන් වලදි ලස්සන ආදර කතා කීපයකම පෙම් යුවල හැටියට රඟපාපු යුවලක්. ඒ කතා අතරින් ලස්සනම ආදර කතාවක් තමයි ස්ලීප්ලස් ඉන් සියැටල් කියන්නෙ. බිරිඳගේ වියෝවෙන් පස්සේ තමන්ගේ කුඩා පුතාත් එක්ක මේ ලෝකෙ තනිවෙච්ච තාත්තා කෙනෙක්ට තමයි ටොම් හෑන්ක්ස් ඉන්නෙ. සෑම් තමයි ඒ චරිතෙ නම. දවසක් රේඩියෝ වැඩසටහනකදි තමන්ට අහිමි වෙච්ච බිරිඳ එක්ක පැවතිච්ච ආදර කතාව කියන්න සෑම්ට සිද්ධ වෙනවා. ඔහුගේ කතාව අහන තරුණියො රැසකගෙ හිතේ ඔහු ගැන ආදරයක් ඇති කරන්න ඒ කතාව සමත් වෙනවා. ඒ අතරින් එක් තරුණියක් තමයි ඇනී කියන්නෙ. සෑම්ගෙත් ඔහුගේ කුඩා පුතණුවන් වන ජෝනාගේත් ජීවිතේට ක්‍රම ක්‍රමයෙන් ඇනී සමීප වෙන්න පටන් ගන්නේ ඒ දෙදෙනා අතර ආදරයක් ඇති වන්න ඉඩ හසර සලසමින්…

 

18. Hamari Adhuri Kahani (2015)
Source – movies.ndtv.com, indiatoday.intoday.in

විද්‍යා බාලන් සහ ඉම්රාන් හශ්මි රඟනයෙන් දායක වුන හමාරි අදූරි කහානි කියන්නෙ වෙනස් ආරක ආදර කතාවක්. තනිව ජීවත් වෙන විවාහක එක් දරු මවක් වන වසූදා සහ තනිකඩ ව්‍යාපාරිකයෙක් වන ආරව් අතර අහම්බෙන් හමුවී හෙමින් හෙමින් ගොඩ නැඟෙන ආදරයට මඟ අහුරන්නෙ වසූදගෙම අතීතය… ආදරය අපිට කොහොම කොයි මොහොතක මුණගැහේවිද? එහෙම හමුවෙන ආදරය අපිට හිමිකරගන්න හැකිවෙයිද? හිමි වුනත් නොවුනත් ආදරය මිය නොයන බව කියවෙන්න මේ අසම්පූර්ණ ආදර කතාව තිරයේ දිග හැරෙනව.

 

19. Her (2013)
Source – readthespirit.com, whqr.org

මේක ටිකක් අමුතු විදිහේ ආදර කතාවක්. අමුතු විදිහේ චරිත රංගනයන්ටම ප්‍රසිද්ධ ජෝකින් ෆීනික්ස් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. කෘතිම බුද්ධියක් සහිත මෙහෙයුම් පද්ධතියක් එක්ක ආදරයෙන් බැඳෙන තැනැත්තෙක්ගෙ ජීවිත කතාව තමයි මේ චිත්‍රපටය මගින් පෙන්වන්නෙ. එහෙම ආදරයකට පවතින්න පුළුවන් වේවිද? කෘතිම බුද්ධියක් එක්ක හැඟීම් දැනීම් හරහා ගනුදෙණු කරන්නේ කොහොමද? මේ අමුතු ආදර කතාව කොහොම කෙළවර වේවිද? ඒ දේවල් ගැන දැනගන්න නම් මේ අපූරු චිත්‍රපටය නරඹන්නම වෙනවා.

 

 

Cover Image Source – episodiosdehoje.com, mensxp.com, filme5.net, wallpapermobi.blogspot.com, itunes.apple.com