ණය බරින් මිරිකිලද? ඉක්මනටම ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්න කැමති අයට මෙන්න උපදෙස්

ණය බරක් හිතින් දරාගෙන ඉන්නවා කියන එක හරිම අමාරු කාරියක්. තවුසන්ඩ් ටෝක්ස් දීලා ණය ගෙවිලි වලින් පැනල යන මග අරින උදවියත් අපි අතර ඉන්නවා තමයි. ඒ උනත් බහුතරයක් දෙනාට ණය බරක් කියන්නේ මානසික සුවය පහත හෙලන කාරණයක්. දවසින් දවස ගතවෙලා යද්දි, ණයෙන් කොටසක් වත් ගෙවාගන්න විදිහක් නැතිව යද්දි, පොළිය එකතු වෙලා ණය කන්ද දවසින් දවස ගොඩ ගැහීගෙන යද්දි ගොඩක් දෙනෙක් සුසුම් හෙලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දන්නෙ නැහැ.

අන්න ඒ නිසා අනිවා අපි මේ කරන්න හදන්නෙ ණය බරකින් පීඩිත වෙලා ඉන්න කෙනෙක්ට ඒ කරදරයෙන් ගැලවෙන්න ප්‍රයෝජනවත් වෙන උපදෙස් කීපයක් ගෙන එන්නයි. ලොකු ණය කරදරේකින් ගොඩ එන්නනම් සෑහෙන ඉවසීමකින්, කැපකිරීමකින් වගේම හිතේ හයියකින් වැඩ කරන එක අනිවාර්යයි. ටික කාලයක් දුෂ්කරව ගත කරන්න, වැඩිපුර මහන්සි වෙන්නත් වෙයි. හැබැයි වැඩේ ගොඩ දා ගත්තට පස්සේ හිතට දැනෙන සැහැල්ලුව ගැන හිතද්දි ඒ මහන්සිය, කැපකිරීම කරන්න බැරි දෙයක් නොවේවි!

 

1. විය හියදම් ගාණට නූලට ගණන් හදලා අනවශ්‍ය වියදම් කපා හරිමු
Source – digitaldealer.com

ණය ගැන හිතන්න කලින් අපි මුලින්ම බලන්න ඕනෙ අපේ මාසික ආදායම් සහ වියදම් වල තත්ත්වය ගැන තමයි. ණය ගෙවන්නත් අපේ අතේ සල්ලි ඉතිරියක් තියෙන්න එපැයි නේද? ඒ නිසා පුංචි ටොපියෙ චොකලට් එකට යන ගාණ පවා ගණන් හදල මාසෙකට ඔයාට වියදම් වෙන මුදල ගැන හරි අවබෝධයකට එන එක අනිවා. මෙතැනදී තමන්ට තමන් අවංක වෙලා, තමන්ගේ සැබෑ ආදායමයි වියදමයි ගාණට ගණන් බලාගන්න මතක තියාගන්න ඕනෙ. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මේ වියදම් අතරින් කපා හරින්න පුළුවන් හැම අනවශ්‍ය වියදමක්ම අද ඉඳන්ම කපා හරිනවාය කියලා තරයේ අධිෂ්ඨාන කරගන්න එකයි. මේක ඉතින් ඔයා විතරක් කලාට මදි. පවුලේ අනිත් අයගෙ සහයෝගයත් ඕනෙ මේ වැඩේට

 

2. කොච්චරක් ණයද කියලත් බලමු
Source – emaze.com

ඊළඟට හොයලා බලන්න ඕනෙ තමන් රටට ලෝකෙට කොච්චර ණයද කියන එක. ඔයාට තියෙන්නේ බැංකු ණයක් වේවා, ක්‍රෙඩිට් කාඩ් ණයක් වේවා, වෙන පුද්ගලයෙක්ගෙන් ගත්ත ණය මුදලක් වේවා ඒ මුදලයි පොලී අනුපාතයයි සඳහන් කරගන්න. කීප තැනකට ණය වෙලා තියනවානම් වැඩිම පොලී මුදලක් අයවෙන සහ වැඩිම මුදලක් ගෙවන්නට තියෙන ණය පිළිවෙලින් වෙන වෙනම සටහන් කරගන්න.

 

3. දැන් බලමු ණය ගෙවන විදිහ
Source – blog.drivetime.com

ණයකින් ගොඩ එන්න බැහැයි කියලා කලින්ම හිත හදාගන්න හුඟක් අය කරන්නේ මාස්පතා ණයේ පොළිය ගෙව ගෙව ඉන්න එක. ඒ වැඩේ නිසා ණය පියවෙන එක කල්යනවා වගේම ණය පියෙවුවත් අවසානයේදී ගත්ත ණයට සාපේක්ෂව සෑහෙන මුදලක් වැඩිපුරත් ගෙවන්නට සිද්ධ වෙනවා. මේ නිසා හැකි හැම වෙලේම මාසික පොලී මුදලට අමතරව ණයෙන් කැපිල යන්න යම්කිසි මුදලකුත් ගෙවන එක වැදගත්. මාසෙ විය හියදම් කපා හැරීමෙන් යම්කිසි ගාණක් අතේ ඉතිරි කරගන්න ලැබුණොත්, අමතර මුදලක් අතට එන වැඩක් සෙට් උනොත්, ඒ වගේ මුදලක් මේ ණයෙන් කොටසක් පියවන්න යොදාගන්න බලන්න.

කීප තැනකට ණය වෙලා තියනවානම් ණය ගෙවන්න පුලුවන් ක්‍රම දෙකක් අතරින් එකක් ඔයාට තෝරගන්න වෙනවා. එකක් තමයි වැඩිම පොළියක් සහිත ණය මුලින්ම ගෙවලා අහවර කරන එක. ඊට පස්සෙ ඊළඟට වැඩිම පොලිය තියන ණය ගෙවන්න යොමුවෙන එක. අනිත් ක්‍රමේ තමයි අඩුම ණය මුදලේ ඉඳන් පිළිවෙලට ණය ගෙවන් යන එක. මේ ක්‍රම දෙකෙන් ඔයාට වඩාත් ගැලපෙනවයි කියල හිතන ක්‍රමය තෝරගන්න ඔයාට පුළුවන්. මේ මොන විදිහට ගෙවීම් කලත් ඒ හැම එකක් ගැනම ගණන් මිනුම් සටහන් කරගන්න එක අනිවා කරන්න ඕනෙ. ගණන් හැදීමේ පහසුව නිසා විතරක් නෙමෙයි, ක්‍රම ක්‍රමයෙන් ණය ගෙවීයෙන යනවා දකිද්දි ඒකෙන් ඔයාගෙ හිතට තවත් ශක්තියක් සහ පෙළඹවීමක් ඇති වේවි මේ කරදරයෙන් අනිවා ගොඩ එන්න.

 

4. ණය හිමියන් එක්කත් කතා බහක් දාලා බලන්න
Source – secfed.com

ඔයාට තියෙන්නෙ බැංකු හෝ ක්‍රෙඩිට් කාඩ් ණයක් වේවා, වෙනත් පුද්ගලයෙක්ගෙන් ගත්ත ණයක් වේවා අදාල ආයතනය හරි පුද්ගලයා එක්ක හරි පොඩි සාකච්ඡාවක නිරත වෙලා ණය ගෙවීමේ ක්‍රියාවලියට පොඩි සහනයක් ගන්න පුළුවන්ද කියලාත් බලන්න. පහසු ගෙවීමේ කාලයක් හරි පොලී සහනයක් හරි ගන්න පුලුවන්නම් ඒකත් වාසියක්නෙ. හැබැයි ඉතින් එහෙම එකඟතාවයකට ඇවිත් සහනයක් ලැබුණොත් තමන්ගෙ ඉදිරි ගෙවීම් කටයුතු නිසියාකාරව කරන්නත් මතක තියාගන්න. ඒ වගේම තව සමහර බැංකු වල එහෙම තියනවා අඩු පොලී ක්‍රෙඩිට් කාඩ් ක්‍රම එහෙම. ඒ වගේ එකකින් ඔයාට පුළුවන් දැනට තියන වැඩි පොළියක් ගෙවන ක්‍රෙඩිට් කාඩ් ණය පියවලා අඩු පොලියක් යටතේ ඒ අයට නැවත ඒ මුදල ගෙවන්න. පොලිය සහ අවදානම අඩු වෙනත් බැංකු ණයක් අරගෙන අදාල ණය ගෙවන්න පුළුවන් නම් ඒකත් හොඳ උපක්‍රමයක් ණය බරින් යම්කිසි හෝ සහනයක් ලබන්න.

ක්‍රෙඩිට් කාඩ් ණයක් ගෙවලා ගොඩදාගන්න හැටි ගැන අපි වෙනම ලිපියක් ලියලා තියනවා. ඒක මෙතැනින් කියවන්න.

 

5. අනවශ්‍ය බඩුවක් දෙකක් විකුණුවට කමක් නෑ
Source – smartmoneytoday.com

දැන් ඔය අපි ගාව තියනවනෙ සල්ලි බාගෙන් අඩු පාඩුවක් නැහැයි කියලා හිතන් හිටපු කාලවලදී ගත්ත එතරම් වැදගත් කමක් නැති බඩු එහෙම. ඔය මියුසික් පොරක් වෙන්න කියලා හිතාගෙන අරගෙන, පස්සේ පැත්තකට කරලා දාපු ගිටාර්. එක එක විසිතුරු බඩු, අනවශ්‍ය ගෘහ භාණ්ඩ එහෙම. අන්න ඒ වගේ භාණ්ඩයක් දෙකක් මුදල් බවට හරවගත්තට කමක් නැහැ මේ වගේ අමාරු කාලයකදි. හැබැයි ඉතින් ඒවා කෙලින්ම ණය ගෙවීම සඳහා තමයි යොදාගන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි ඔය නිකන් තියෙන්න ඇරල තියන, වැඩක් නොගන්න සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්නත් බලන්න. ගෙදර අමතර කාමරයක් තියනවනම් ඒක කුලියට දෙන එක, වත්තෙ බෝගයක් දෙකක් වගා කරන එක, වාහනයක් තියනවනම් හයර් දුවන එක වගේ දේකට යොමු වෙන්න බලන්න.

 

6. අලුත් ආදායම් මාර්ගත් ඇති කරගන්න
Source – polskapraca.info

අරහෙම ගෙවන්න, මෙහෙම ගෙවන්න කිවුවට මොකද අතේ සල්ලි නැත්නම් මොනවයින් ගෙවන්නද නේද? අන්න ඒ නිසා ණයක් පියවන්න තියන ප්‍රැක්ටිකල්ම ක්‍රමය තමයි අපේ ආදායම වැඩි කරගන්න එක. මේකට ඔයාට පුළුවන් පාර්ට් ටයිම් හෝ ෆ්‍රී ලාන්සින් වැඩක් පටන් ගන්න. අමතර රස්සාවක් හොයාගෙන අමතර මුදලක් උපයගන්න. රස්සාවල් දෙකක් ගාණට බැලන්ස් කරගෙන යන හැටි ගැන අපේ ලිපිය ඔයාලට ඒ සඳහා උදවු කරාවි. ටික කාලයක් වැඩිපුර මහන්සි වෙන්න වේවි. හැබැයි ඒ මහන්සිය අනාගත හිතේ සැනසීම වෙනුවෙන්නෙ.

 

7. ප්ලෑනකට වැඩේ ගෙනියන්න
Source – forbes.com

ගත්තු ණය මුදල් ගෙවනකම් විය හියදම් අඩු, වැඩි ඉතිරියක් සහිත ප්ලෑන් එකකට ජීවිතේ ගෙනියන්න මතක තියාගන්න. කඩ කෑමෙන්, කඩෙන් බොන තේ එකෙන් ඉඳලා වෙනස් කරගන්න පටන් අරගෙන මේ ප්ලෑන් එක ගෙනියන්න. හැම වෙලේම තමන්ට වියදම් කරන්න පුලුවන් බජට් එකට අඩුවෙන් වියදම් කරන්න බලන්න. යම්කිසි නිශ්චිත මුදලක් ණය ගෙවීම වෙනුවෙන් හැම මසකම යොදවන්න බලන්න. කාඩ්පත් වලින් කරන ගෙවීම් හැකිතාක් අවම කරලා මුදල් වලින් ගෙවීම් කරන්න පුරුදු වෙන්න. ඒක ඔයාගෙ වියදම් අඩු කරන්න බලපාවි. ඒ වගේම ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු මිලදී ගැනීමේදීත් මුදල් නාස්ති නොවන්නට වග බලාගන්න අමතර මහන්සියක් යොදවන්න. ඒ මගින් දැනෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වේවි.

 

8.ණය උපදේශන සේවා පිහිට පතන්න
Source – loansmyway.com.au

ශ්‍රී ලංකා මහ බැංකුවත්, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයත් එකතුවෙන් පිහිටුවා ඇති “උපදේශනා” ණය උපදේශන සේවයේ පිහිට පතන්නටත් ඔබට පුළුවන්. ණය බරින් පීඩිත වෙලා ආර්ථිකමය වශයෙන් අසරණ වෙලා ඉන්නා අය හට උපදෙස් ලබාදීම, ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට අතරමැදියෙක් හැටියට ක්‍රියාකිරීම වැනි සේවාවන් රැසක් නොමිලේම ලබාදෙනවා මේ ආයතනය මගින්.

ලිපිනය – උපදේශනා ණය උපදේශන කේන්ද්‍රය, 57, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය

දුරකථන – 0112 887006 – 7

ඊමේල් – upadeshana[at]gmail.com

 

9. වැරදුනේ කොතැනද කියලා හොයන්න, පිළියම් යොදන්න
Source – popkey.co

මෙන්න මේක හරිම වැදගත්. ඇයි මම ණය කාරයෙක් බවට පත්වුණේ කියල තේරුම් ගන්න එක. අනවශ්‍ය පුරුද්දක් නිසාද? නාස්තිකාර කම නිසාද? පවුලේ ආර්ථිකේ හරියට කළමණාකරණය කරගත්තෙ නැති නිසාද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි කාරණයක් නිසාද කියන එක හොඳින් කල්පනා කරලා, හොයලා බලලා තේරුම් ගන්න ඕනෙ. අන්න ඒ වැරැද්ද අනාගත කාලෙදි නැවත ඇති නොකරගන්නටත් වග බලා ගන්න ඕනෙ. ඒ වගේම වහාම කරන්න ඕනෙ තවත් දෙයක් තමයි හදිස්සියකට ගන්න කියලා මුදලක් වෙනමම ඉතිරි කරන්න පටන් ගන්න එක. අඩුම තරමේ මාස 6ක් තමන්ට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් මුදලක් වත්. එහෙම ඉතිරියක් තියනවානම් අනාගතේ අනපේක්ෂිත ණය කරදරයක් ආවත් හිතට බරක් වෙන එකක් නෑ.

 

 

Cover Image Source – money.cnn.com