රසවත් සහ ගුණවත්ම එළවලු තෝරන්නේ මෙහෙමයි! මේ රහස අපිට කිවුවේ ප්‍රවීණ ගොවි මහත්වරුයි

එළවළු කියන්නෙ අපේ එදිනෙදා ආහාර වේලේ ප්‍රධානම අංගයක්. මසක් මාළුවක් නැතත් එළවළු දෙක තුනක් එක්ක බත් ටිකක් කන්න තමා ශ්‍රී ලාංකික අපි හුරු වෙලා ඉන්නෙ. ඉස්සර නම් අපේ ආච්චිලා සීයල වත්තෙම වවා ගන්න එළවළු තමා බොහෝ වෙලාවට භාවිතා කලේ. කාර්ය බහුලකම, ඉඩකඩ අඩු නිවාස සැලසුම් වගේ නොයෙක් හේතු හින්දා දැන් නම් ගෙදර එළවළුවක් වවා ගන්න පුළුවන් බොහොම සීමිත පිරිසකට. බහුතරය එළවළු මිලදී ගන්නෙ වෙළඳපලෙන්. අද අපි මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ වෙළඳපලෙන් එළවළු මිලදී ගන්න ඔබට වැදගත් වෙන කරුණු ටිකක් ගැන.

නිතරම ගැනෙන එළවළු කීපයක් වඩා නිවැරදිව තෝරා ගන්නෙ කොහොමද කියන එක ගැන ඒ ඒ එලවළු වර්ග වගා කරන ගොවි මහතුන්ගෙන්ම අපි අහල බැලුවා. ඒ ගොවි මහත්වරු ඒ සම්බන්ධයෙන් දැනුම් සම්භාරයකින් අපිව සන්නන්ධ කරන්න සමත් වුණා.

Source – aniwa.lk

වසර 40ක පමණ වගා අත්දැකීම් තියෙන ගුණසේකර ගොවි මහතා තණමල්විල ප්‍රදේශයේ ඉතාම සාර්ථකව වගා කටයුතු කල ගොවි මහතෙක්. ඔහු මේ ලිපියේ තොරතුරු වල දායකත්වය ලබා දුන්නෙ ඔහුගේ දශක ගණනාවක පලපුරුද්දෙන්. දඹුල්ල ප්‍රදේශයේ තම වගා කටයුතු කරගෙන යන අශිර දිල්ශාන් තරුණ ගොවි මහතා වගා කටයුතු වලට නවකයෙක් උනත් ඔහු සතු දැනුම බොහොමයි.  ඔහු වගා කරන එළවළු වල තොරතුරු අපට ලබා දුන්නේ දක්ශ ගොවි මහතෙකුගේ ලක්ශණ හඟවමින්. අප වෙත ලබා දුන් තොරතුරු වලට ඔවුන්ට ස්තූති කරන ගමන්ම අපේ ලිපිය පටන් ගමු.

 

ඕනෙම එළවළුවක් තෝරගන්න කලින් දැනුවත් වෙන්න
Source – youtube.com/Beautiful Winter Vegetables Market

වෙන වෙනම එළවලු වර්ග තෝර ගන්න හැටි ගැන කියන්න කලින් පොදුවේ අපි ඕනෙම එළවළු වර්ගයක් තෝර ගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් කීපයක් ගැනත් මුලින්ම කියන්න හිතුව.

 

  • නැවුම් වූ පමණින්ම හැම එළවළුවම හොඳම තත්ත්වයෙන් නැහැ. පළුදු වුන, කැපුම් පාරවල් සහිත සහ තැළුන එළවළු තෝරාගැනීමෙන් වලකින්න. ඒවා ඉක්මණින්ම නරක් වෙන්න බලනව.

 

  • ඒ වගේම එළවළු ගෙනත් සතියකට වඩා කාලයක් තියාගෙන පාවිච්චි කරන එක ඒ තරම්ම සුදුසු නැහැ. සතියකට අවශ්‍ය එළවළු පමණක් එකවර මිලදී ගන්න. එළවළු වල නැවුම් බව වගේම පෝශණ ගුණය නිසි ලෙස ලබා ගන්න නම් ඒවා අළුත් තත්ත්වයෙන්ම ආහාරයට එක් කරගත යුතුයි.

 

  • කොළ වර්ග මිලදී ගන්න කොට ඒවා ප්‍රාණවත් කොළ පැහැයෙන් සහ මැල නොවුන සොභාවයෙන් ඇත්නම් අළුත්ම කොළ වර්ගයි. මැලවුනු තැනින් තැන කහ ගැහුනු කොළ වර්ග නෙලා දින කිහිපයක් ගත වූ ඒවායි. කොත්තමල්ලි කොළ, පාස්ලි සහ සලාද කොළ වගේ ඉක්මණින් නරක් වෙන කොළ වර්ග තෝරා ගන්න කොට හැම විටම නොතැලුණු නැවුම් කොළම තෝරාගන්න.

 

  • ඒ වගේම අන්තිමටම කියන්න ඕන දඩිබිඩියෙ නැතුව ටිකක් වෙලා අරන් එළවළු තෝරගන්න. නිවාඩු දවසක් බලල සතියටම ඕන එළවළු ටික එක පාර ගන්න යන්න. තමන් කෑමට ගන්න දේ ගැන සැලකිලිමත් වෙන්න පොඩි කාලයක් වැය කරන්න වෙන එකේ වාසිය තමන්ටමයි.

 

1. වට්ටක්කා
Source – spicesnflavors.com

හැමදාම අලයි පරිප්පුයිම කන්නෙ නෑනෙ. වට්ටක්කා ටිකක් කිරට හදාගන්න කඩෙන් වට්ටක්කා ගත්තම සමහර වෙලාවට වට්ටක්කා වල කිසිම පිටි ගතියක් නැහැ. කෙඳි ගතිය වැඩි සමහර වට්ටක්කා කොහොම රසට උයන්න ගත්තත් ඉව්වම දිය රහයි. වට්ටක්කා පොඩි ගෙඩියක් පිටින්ම ගන්නව නම් වට්ටක්කා ගෙඩියෙ නැට්ටෙන් තමා අළුත් බව බලාගන්න පුළුවන්. මුලින්ම බලන්න වට්ටක්කා ගෙඩියෙ නැට්ට කැඩිල ගිහිල්ලද කියල. නැට්ට ගැලවිලා ගිහින් නම් බොහෝ දුරට ඒ වට්ටක්කා ගෙඩිය ඇතුලෙන් නරක් වෙලා තියෙන්න පුළුවන්. හොලවා බැලුවම ඇතුලෙන් දිය ගතියට හෙලවෙන සද්දයක් ඇහෙනව නම් ඒ නරක් උන වට්ටක්කා ගෙඩියක්. කෑලි කපපු වට්ටක්කා නම් බැලු බැල්මට නරක් වෙලාද නැද්ද කියන්න පුළුවන්නෙ. මේවයින් රස වගේම පිටි ගතිය වැඩි වට්ටක්කා හොඳ තද තැඹිලි පාටකින් යුක්තයි. ලා කහ පාට සුදට බර වට්ටක්කා දළු කාලෙන් කඩපු වට්ටක්කා නිසා රස අඩුයි වගේම පිටි ගතියෙන් තොරයි.

 

2. කෝලි ෆ්ලවර් නැත්නම් මල් ගෝවා
Source – commons.wikimedia.org

එක කාලෙකට සෑහෙන ගණන් යන තවත් කාලෙකට බහුලව තියෙන රසවත් එළවළුවක්. ආසාවෙන් හදන්න ගෙනාවට සමහර වෙලාවලට මේ මල් ගෝවා මැද නරක් වෙලා අහක දාන්න වෙන වෙලාවල් නැතුවාම නෙවෙයි. මේ නිසා මල් ගෝවා ගනිද්දි මෙන්න මේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ගෝවා මල විසිරිලා නම් මල් කොටස් ඈත් වෙලා නම් ඒක පරණ ගෝවා මලක්. හොඳ ගෝවා මලක් එකට ගුලි වුන පිරිණු ස්වභාවයකින් යුතුයි. තැනින් තැන කහ හෝ අළු පාට වුන පුස් පැල්ලම් සහිත නම් ඒ පරණ වුන ගෝවා මලක්. ගෝවා මලේ යට පැත්ත හරවා බැලුවම නටුව කොටසේ මැද කලු වෙලා නම්, ඇඟිල්ලෙන් තද කල විට ඇතුලට එබෙනවා නම් ඒ ගෝවා මලේ මැද නරක් වෙලා. නහයට ලංකොට බැලූ විට ගඳක් එනවා නම් ඒත් නරක් වුන එකක්. මලේ යට පැත්තෙ තියෙන කොළ කහ වෙලා නරක් වෙලා නම් පරණ වෙච්ච ගෝවා මලක් කියලත් මතක තියාගන්න.

 

3. කරවිල
Source – youtube.com/9 Amazing Health Benefits of Bitter Gourd

තිත්ත නැති කරවිල නම් ඉතින් හොයාගන්න බෑ. කොයි කරවිලත් තිත්තයි. කරවිල වල තිත්තකමේ තමා ගුණ තියෙනව කියන්නෙ. හැබැයි ලපටි කරවිල තරමක් තිත්ත ගතිය අඩුයි. මේ කියන්නෙ හොඳ තත්ත්වයේ කරවිල ගෙඩියක් තෝරගන්න හැටි. කරවිල ගෙඩියේ යට කොටස ඒ කියන්නෙ නැට්ට පැත්තට විරුද්ධ පැත්ත සුදු පැහැ නම්, නැට්ට පැත්තෙන් කහ වේගෙන එනව නම් ඒ කරවිල ගෙඩිය ඇතුලෙන් ඉදීගෙන එනව. කොළ පාට කරවිල ගෙඩියක උනත් නැට්ට පැත්තෙන් චුට්ටක් කඩල බැලුවම ලා කහ පාට නම් ඒක ඇතුලෙන් ඉදිලා. තැනින් තැන කළු පොඩි පැල්ලම් තියෙන කරවිල පරණ සහ නරක්වීමට ලක් වීගෙන එන කරවිලයි. හොඳට සරුවට හැදුන කරවිල වල රැලි ගතිය තරමක් අඩුයි වගේම විශාල රැලි සහිතයි. තද ගතියෙන් අතට දැනෙන, නැට්ට වියළි, ලා දුඹුරු පැහැ වෙලා නැති කරවිල ගෙඩි හැම විටම තෝරාගන්න.

 

4. බණ්ඩක්කා
Source – youtube.com/Benefits of eating Okra(ladies’ fingers) – Health Tone

බණ්ඩක්කා තෝරන අපි හැමෝම දන්න ක්‍රමේ තමා අගිස්ස චුට්ටක් කඩල බලන එක. ටකස් සද්දයක් එක්ක ලේසියෙන්ම කැඩෙනව නම් ඒ ලපටි බණ්ඩක්කා. නැත්නම් මෝරල. සමහර බණ්ඩක්කා ලපටි උනත් ඇතුලෙන් නරක් වෙලා, ඇට කළු වෙලා, පණුවො හැදිලා තියෙන්න පුළුවන්. එහෙම බණ්ඩක්ක පිටින් බලල එක පාරට තෝර ගන්න අමාරුයි. වක් වෙලා නැවිල තියෙන බණ්ඩක්කා වල ඇතුලෙ පණුවො ඉන්න පුළුවන්කම වැඩියි. ඇද වෙලා වකුටු වෙලා නැති කෙලින් කරල් තෝරාගන්න. ඒ වගේම බණ්ඩක්කා ගෙනාවම දෙහි එක්ක එකට ගබඩා කරන්න එපා. බණ්ඩක්කා ඉක්මණින් මෝරනව.

 

5. වම්බටු
Source – authenticworldfood.com

රසවත් වගේම ගුණවත් එළවළුවක්. හැබැයි කිලෝ එකක් ගෙනාවම ග්‍රෑම් 250ක් වත් අහක දන්න වෙන අවස්ථා වැඩියි පණුවො නිසා. ඒත් වම්බටු ගනිද්දි ඒ වම්බටු ගොඩේ පණුවො විදපු වම්බටු තියෙන එක එක අතකට සුභ ලකුණක්. තෝරලා ගන්න කොට පණුවො විදපු නැති, නැට්ට හොඳ කොළ පාටින් තියෙන වගේම වියළුනු නැති නැට්ටක් තියෙන වම්බටු තෝරගන්න. ඒ වගෙම අතට ගත්තම එබෙන්නෙ නැති, රැලි වැටිලා නැති, පිරුණු වම්බටු ගෙඩි නැවුම් ඒවායි. පරණ වුන වම්බටු වල නැට්ට දුඹුරු පැහැ වෙලා රැලි වැටිල තියෙනව වගේම තැනින් තැන දුඹුරු පැහැ ලප තියෙනව. එහෙම ඒව මිලදී ගැනීමෙන් වලකින්න.

 

අපි මේ කිව්වෙ අපේ ගෘහණියන් අතර වැඩි වශයෙන් පාවිච්චි වෙන එළවළු කීපයක් ගැන විතරයි. ඒ ඒ එළවළු වර්ග වර්ණයෙන්, හැඩයෙන් සුවඳින් සහ පෙනුමෙන් කොහොමද තෝරගන්නෙ කියන එක ගැන ඔබ මේ වෙනකොට දැනුවත්. මීට පස්සෙ මාකට් එකට ගියාම හොඳම එළවළු තෝරා ගන්න එක ඔබට ඒ හැටි දෙයක් නෙවෙයි කියල අපිට විශ්වාසයි. කලිනුත් කිව්ව වගේ ආයෙමත් මතක් කරනව එළවළු වල රස සහ ගුණ තියෙන්නෙ නැවුම් බවේ නිසා නිතරම අළුතෙන්ම එළවළු මිලදී ගන්න කියල.

 

 

Cover Image Source – aniwa.lk