මානසික සෞඛ්‍යය හොඳින් තියාගෙන ඉන්න ‍ෆිට් මනුස්සයෙක් වෙන්න අනිවා නොවරදින උපදෙස් 7ක්

දැන් ‍ෆිට්නස් කිව්ව ගමන් මොනවද මතක් වෙන්නේ? අර ජිම් ගිහිල්ලා යකඩ උස්සලා ඇඟ හදාගෙන ‍ෆිට් එකේ ඉන්න ඩයල් එකක් නේද? හැබැයි මෙන්ටල් ‍ෆිට්නස් කිව්වහම ඕන නම් හිතේ මවාගන්න පුලුවන් මොළේට පණ ඇවිල්ලා පොත් දෙකක් අත් දෙකෙන් උස්ස උස්ස එක්සයිස් කරනවා. හැබැයි ඇත්තටම මෙන්ටල් ‍ෆිට්නස් නැතිනම් හොඳ මානසික යෝග්‍යතාවය කියන්නේ මොළේට එක්සයිස් විතරක් නෙවෙයි. හොඳ මානසික සෞඛ්‍යයත් ඒකට ඇතුළත්. දැන් ඕක කොහොමද ඇති කරගන්නේ? ලොකු අපහසුවක් නෑ. හැබැයි මේ අපි කියන්න යන දේවල් නිරන්තරයෙන්ම කරන්න වෙනවා. එහෙනම් දිගටම කියවලා බලන්න!

 

1. මනසට වගේම ශරීරයටත් ව්‍යායාම
Source – urthave.com

ගොඩක් දෙනා මනසට ව්‍යායාම ලබාදෙන්න කිවුවහම පැනලා ආවත්, ඇඟට ව්‍යායාම කිව්ව ගමන් පස්සට යනවනේ. එහෙම බෑ. මොකද මානසික සමබරතාවය ඇතිකරගන්න එක අත්‍යාවශ්‍ය පියවරක් තමයි ශාරීරික සමබරතාවය ඇතිකරගන්න එක. වෙනත් විදියකට කිවුවොත් මනස හොඳට හදාගන්න නම් ශරීරයත් හොඳට තියාගන්න වෙනවා. අන්න ඒ නිසා හෙට ඉඳන් හරි කමක් නෑ අඩුම තරමින් දවසකට පැය බාගයක්වත් ව්‍යායාම කරන්න වෙන් කරන එක හොඳයි.

 

2. ඔ‍ෆිස් වැඩ ඔ‍ෆිස් එකේ තියලා එන්න
Source – timeanddate.com

මෙන්න මේක අර කියන්න ලේසියි, කරන්න අමාරුයි ටයිප් එකේ වැඩක්. ඇත්තටම අපිට ඔ‍ෆිස් එකේ ප්‍රශ්නයක් තියෙනවා නං ඒක ගෙදර ආවට පස්සෙත් නොහිතා ඉන්න පුලුවන් කමක් නැහැනේ. හැබැයි මේක පොඩ්ඩක් පුහුණුවක් ලබාගත්තොත් කරන්න බැරි නෑ. ඒ කියන්නේ ගෙදර ඉන්නකොට ගෙදර මිනිස්සු ගැන හිතන එක, තමන් විවේකයෙන් ඉන්නකොට කරන්න ආස දේවල් කරන එක තමයි මේකට හොඳම ක්‍රමේ. ඒ වගේම ඔ‍ෆිස් එකේ ඉන්නකොට ගෙදර මිනිස්සු ගැන හිතුවත්, තමන්ගේ විනෝදාංශ වගේ පුද්ගලික දේවල් නොකර ඉන්න එකත් මේකට ඇතුළත්. මෙහෙම පුද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය ඉරක් ගහලා බෙදලා තියාගන්න බැහැ තමයි. හැබැයි දිගින් දිගටම උත්සාහ කරනකොට මේ දෙක අතරේ බැලන්ස් එකක් ගොඩනඟාගන්න හැකියාව ලැබෙයි. ඒක යහපත් මානසික සුවතාවයකට සෑහෙන්න වටිනවා.

 

3. හිත්තැවුල් වල ඇලී ගැලී නොඉන්න
Source – metro.co.uk

දැන් අපි කියමුකෝ අපිට ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හැමදේම හොඳින් සිද්ධ වෙනකල් ජීවිතේ පුල් මාවලස්. හැබැයි ජීවිතේ කියන්නේ හැමදාම ආතල් එකේ පැද්දි පැද්දි ඉන්න පුලුවන් රෝස මල් යහනාවක් නෙවෙයිනේ. ප්‍රශ්න එනවා. දුක හිතෙනවා. සම්බන්ධකම් කැඩෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම දේකදී වෙන්නේ අපි ඒ දුක අනුභව කරමින්, දුකේ ගැලිලා ඉන්න එක තමයි. ඒත් ඇත්තටම දුකේ ගැලිලා ඉන්න එක ඔප්ෂන් එකක්. වෙන විදියකට කිවුවොත් අපි දුක ‍තෝරාගන්නා තාක්කල් දුකේ තමයි. හැබැයි අපිට පුලුවන් නැගිටලා තමන් ප්‍රශ්නේ විසඳගෙන සතුටින් ඉන්නවා කියන එක ‍තෝරගන්න. අනිවාර්යයෙන්ම ඒක එක රෑකින් හෝ දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සමහර විට සති ගාණක් යයි. හැබැයි යහපත් මානසික සුවතාවයකින් ඉන්න කෙනෙක්ට හිත්තැවුල් වල සදාකල් ඇලී ගැලී ඉන්නෙ නැතුව ජීවිතේ සාමය හොයාගන්න පුලුවන්. එහෙම ජීවිතේ සාමය හොයාගන්න පුලුවන් කෙනාට ඒක යහපත් මානසික සුවතාවය ලඟා කරගන්න උදවුවක්. දැන් තේරෙනවනේ මේ දේවල් එකකට එකක් සම්බන්ධයි කියලා.

 

4. එක වරකට එක දෙයක්
Source – thesun.co.uk

අපි කතා කරනවනේ මල්ටි ටාස්කින් වීම ගැන. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි ඊට කලින් මල්ටි ටාස්කින් වීම අවශ්‍ය කරන තැන් සහ අනවශ්‍ය තැන් ගැන දැනගෙන ඉන්න ඕන. දැන් අපි කියමු ඔ‍ෆිස් එකේ වැඩ කියලා. එතකොට අපිට එක වෙලාවක එකක් විතරක් කරලා ඉන්න ලැබෙන්නේ නෑ. ගොඩක් වෙලාවට වෘත්තිමය ජීවිතයේදී අපිට මල්ටි ටාස්කින් වෙන්නම වෙනවා. සමහර වෙලාවට අපිට ගෙදර මොකක් හරි උත්සවයක් හරි ඒ වගේ දෙයක් තියෙනකොටත් එක වැඩක් අල්ලගෙන ඒක ඉවර කරන්න ලැබෙන්නේ නෑ. එතනටත් මල්ටි ටාස්කින් හැකියාවන් වුවමනා කරනවා. හැබැයි තමන්ගේ කෙල්ල එක්ක කතා කරන ගමන් මොකක් හරි රිපෝට් එකකුත් ටයිප් කරන එක මල්ටි ටාස්කින් නෙවෙයි. තමන්ගේ කොල්ලත් එක්ක ඩේට් අවුට් එකකට ගිහින් ඉන්නකොට ෆෝන් එක පැත්තකින් තියාගෙන යාලුවොත් එක්ක චැට් කරන එක මල්ටි ටාස්කින් නෙවෙයි. කොටින්ම කිවුවොත් ජීවිතේ විඳීම සම්බන්ධ දේවලදී එක මොහොතක එක දෙයක් කරන තරමට අපිට ජීවිතේ විඳින්න හැකියාව ලැබෙනවා.

 

5. කියවන්න, අහන්න, බලන්න
Source – qygjxz.com

පොතක් කියවන එක බොහොම හොඳ පුරුද්දක්. හොඳ සංගීතයට ඇහුම්කන් දෙන එකත් එහෙමයි. හොඳ චිත්‍රපටියක් බලන එකත් එහෙමයි. මේ දේවල් වලින් ඇත්තටම අපේ රසවින්දනය විතරක් නෙවෙයි, පර්යාවලෝකනයත් දියුණු වෙනවා. අපි හිතන්න පුරුදු වෙනවා. ලෝකේ දිහා, ජීවිතේ දිහා, මිනිස්සු දිහා වඩාත් පුළුල් විදියට බලන්න හුරු වෙනවා. ඒ වගේම අපිට සතුටක් ලැබෙනවා. මෙන්න මේ මික්ස් එක යහපත් මානසික සමබරතාවයක් ලබාගන්න නොවරදින රෙසිපි එකක්. හැබැයි එකක්. මේ දේවල් කරන්න ඕන ලෝකෙට පේන්න නෙවෙයි. ලෝකෙට පේන්න දේවල් කරා කියලා තමන්ගේ මානසික සෞඛ්‍යය යහපත් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට යාලුවෙක්ගෙන් බලන්න හොඳ ‍ෆිල්ම් එකක් ඇහුවහම සම්භාව්‍ය ‍ෆිල්ම් එකක් ගැන කියන්න පුලුවන්. හැබැයි අපි ඒක බලනකොට තේරෙනවා ඒක අපිට බලන්න අසීරු ‍ෆිල්ම් එකක් කියලා. අන්න එතකොට අපි ඒක බැලුවය කියන්න බලාත්කාරෙන් බලන්න ඕන නෑ. ඊට වඩා කා‍ටුන් ‍ෆිල්ම් එකක් බලලා තමන්ට සතුටක් දැනෙනවා නම් කා‍ටුන් ‍ෆිල්ම් එකක් බලන්න. ප්‍රශ්නයක් නෑ.

 

6. මනසට ව්‍යායාම දෙන විනෝදාංශ
Source – makeuseof.com

මේකට කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. සුදොකු, චෙස්, චෙකර්ස් වගේ සෙල්ලමක ඉඳන් ඔය පසල් ගේම් දක්වා මනසට යම් කිසි ව්‍යායාමයක් ලබාදෙනවා. මේ වගේ ක්‍රීඩාවක් ඉගෙන ගන්න එකෙන් තියෙන වාසිය වෙන්නේ බුද්ධිමය හැකියාවන් දියුණු වෙන එක විතරක්ම නෙවෙයි. ඒ වගේම හිත එකඟ කරගන්න හැකියාවත් ලැබෙනවා. මනසට සැහැල්ලුවකුත් ලැබෙනවා. අන්න ඒ නිසා විවේකයෙන් ඉන්න වෙලාවක මේ වගේ ක්‍රීඩාවක යෙදුණට පාඩුවක් නෑ. ඕන නම් එහෙම ස්මාට්ෆෝන් එකට දාගෙන නිදහසේ ඉන්න වෙලාවට ප්ලේ කරන්නත් පුලුවන්.

 

7. යහපත් අල්ලාප සල්ලාපය
Source – lovepanky.com

අපි සමාජ සත්වයෝනේ, මිනිස්සු කියන්නේ. ඉතින් සමාජ සත්වයින්ට සමාජ සම්බන්ධතා අවශ්‍ය වෙනවා. ඒ සමාජ සම්බන්ධතාත් අනිවා අවශ්‍යයි මානසික සෞඛ්‍යය ‍ෆිට් එකේ තියාගන්න නම්. දැන් අපි ඔය යාලුවොත් එක්ක සෙට් වෙනවනේ. ඔව් මේ සෙට් වෙන එක කෝපි එකක් බොන්න වෙන්න පුලුවන්, එහෙම නැතිනම් පබ් එකක වෙන්න පුලුවන්. ඒ කොහොම වුනත් වැදගත් වෙන දේ තමයි සැහැල්ලු, මනසට නිදහස් සල්ලාපයක යෙදෙන්න පුලුවන් වෙන එක. මේ වගේ මිතුරු සමාගමකට පස්සේ අපිට හිතට හරි සැහැල්ලුවක් දැනෙන්නේ ඒ නිසා තමයි. ඒ වගේම දෙවෙනි දේ තමයි බුද්ධිමය සංවාද. අපිට හිතමිතුරෝ ඉන්න ඕන සමාජේ ගැන කාලීන මාතෘකාවක්, බුද්ධිය කළඹවන මාතෘකාවක් වගේ ඕනම දෙයක් ගැන සීරියස් සංවාදයකට යන්න පුලුවන්. හැබැයි ඒ වගේ සංවාදෙකට යන්න ඕන තමන් හරි කියන්න හෝ තමන් පොර කියන්න නෙවෙයි. තමන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන්. ඉතින් මේ කියන අල්ලාප සල්ලාප සහ සංවාද කියන දෙකටම අපිට යහපත්, බුද්ධිමත් මිතුරන් අවශ්‍යයි. අන්න ඒකත් මතක තියාගන්න ඕන දෙයක්.

 

හැබැයි එකක්. හොඳ මෙන්ටල් ‍ෆිට්නස් එකක් තියෙනවා කියන්නේ තමන්ගේ සුවපහසුව දැනෙන සීමාවේ ඉඳගෙන, ජීවිතේ කිසිම රිස්ක් එකක් ගන්නෙ නැතුව ජීවත් වෙන එක නෙවෙයි. තමන්ට අරමුණු තියෙන්න ඕන. ඒවාට යන්න රිස්ක් ගන්න ඕන. ඇඩ්වෙන්චර් වලට බය නොවෙන්න ඕන. හොඳ මෙන්ටල් ‍ෆිට්නස් එකක් තියෙනකොට තමන්ගේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට යනකොට එන අභියෝග වුනත් ගේමක් නැතුව යනවා. ජීවත් වෙනවා කියන්නේ ආන්න ඒකයි.

 

 

Cover Image Source – onlyfreewallpaper.com